born-again-effect-cricket

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තේමේදී 'බෝර්න් අගේන්' ආගමික නිකායේ බලපෑමක් වී ඇද්දැයි සොයා බැලීමේ විමර්ශනයට අදාළ රජයේ විගණකාධිපතිවරයාගේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව නීතිපතිවරයා ඊයේ (07) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.



රජයේ විගණකාධිපතිවරයාගේ වාර්තාව අධ්‍යයනය කර ඉදිරි කටයුතු කිරීම සඳහා කාලය ලබා දෙන්නැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මනෝහර ජයසිංහ මහතා කළ ඉල්ලීම පිළිගත් අභියාචනාධිකරණය පෙත්සම කැඳවන ලබන ජනවාරි 29 වැනිදා  මෙම විමර්ශන කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙස නියම කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති ෂම්මි සිල්වා සහ එහි හිටපු ලේකම් මොහාන් ද සිල්වා යන මහත්වරුන් විසින් රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබිණ.

ඕස්ට්‍රේලියාවේ පැවති ඉකුත් විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තේමේදී බෝර්න් අගේන් ආගමික නිකායේ බලපෑමක් වී ඇද්දැයි සොයා බැලීමට හිටපු මහාධිකරණ විනිසුරු සරෝජිනී කුසලා වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කළ බව සඳහන් කරන පෙත්සම්කරුවෝ කමිටුව කළ විමර්ශනවලින් අනතුරුව ක්‍රීඩා අමාත්‍යවරයා වෙත  ඉදිරිපත් කර ඇති නිර්දේශ මත ක්‍රිකට් ආයතනයට එරෙහිව ඉදිරි පියවර ගැනීම වළකාලන තහනම් නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා සිටිති.



පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මනෝහර ජයසිංහ මහතා කරුණු දක්වමින් විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තේරීමේදී 'බෝර්න් අගේන්' ආගමික නිකායේ බලපෑමක් වී ඇද්දැයි සොයා බැලීමේ විමර්ශනයට අදාළ රජයේ විගණකාධිපතිවරයාගේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇතැයිද එම වාර්තාව අධ්‍යයනය කර ඉදිරි කටයුතු කිරීම සඳහා කාලය ලබා දෙන්නැයි ද කීය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ ඉල්ලීම පිළිගනිමින් ඒ සඳහා කල් දුන් අභියාචනාධිකරණය පෙත්සම ලබන ජනවාරි 29 වැනිදා කැඳවීමට නියම කළේය.

-බුද්ධිමාල් රුබේරු