brother-issues-sword-attack-homagama

ඉඩම් ආරවුලක් දුරදිග යාමෙන් වැඩිමහල් සහෝදරයාගේ රුපියල් හැට දහසක කොන්ත්‍රාත්තුවක් මත එල්ල කළේ යැයි කියන තියුණු ආයුධ ප්‍රහාරයකින් බාල සොහොයුරා ඇතුළු දෙදෙනකු බරපතළ තුවාල ලබා 19 දා රාත්‍රී හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.

පහරකෑමෙන් තුවාල ලැබූ එක් පුද්ගලයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට 19 දා රාත්‍රියේම මාරුකර යැවූ බව රෝහල් ආරංචි මාර්ග කීය.

හෝමාගම මාඹුල්ගොඩ ප්‍රදේශයේ පාසල් උපකරණ අලෙවි මධ්‍යස්ථානයක හිමිකරුවකු වෙළෙඳ සැල තුළ රැඳී සිටියදී 19 දා රාත්‍රී 7.30 කිසියම් පුද්ගලයකු වෙළෙඳසල තුළට පැමිණ ඔහු සඟවාගෙන ආ කඩුවක් එළියට ගෙන වෙළෙඳසල් හිමිකරුට පහරදී තිබේ.

පහරදීම සිදුවන අවස්ථාවේදී යාබඳ රැඳී සිටි වෙනත් පුද්ගලයකු ප්‍රහාරය වැළැක්වීම සඳහා උත්සාහ දැරීමේදී පුද්ගලයාටද සැකකරු තියුණු ආයුධ පහරක් එල්ල කොට පලා ගොස් තිබේ.



පහරකෑමෙන් එක් පුද්ගලයකුගේ ගෙලට හා අනිත් පුද්ගලයාගේ දකුණු ඇලපතට හා දකුණු ඇඟිල්ලකට බරපතළ තුවාල සිදුව තිබූ අතර ප්‍රතිකාර සඳහා කඩිනමින් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

පසුව රෝගීන් දෙදෙනාට මූලික ප්‍රතිකාර ඒකකයේදී ප්‍රතිකාර ලබාදී දකුණු ඇලපතට සහ දකුණු ඇඟිල්ලට තුවාල සිදුව තිබූ පුද්ගලයා 19 දා රාත්‍රියේදීම වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යැවූ බවත් අනෙත් පුද්ගලයා ශල්‍යකර්මයකට භාජනය කොට දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් පසුව 20 දා දහවල් සාමාන්‍ය වාට්ටුවකට යොමු කළ බවත් රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේය.

මෙසේ තුවාල ලබා ඇත්තේ (50 සහ 53) වයසේ පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවන් දෙදෙනෙකි.



මෙම වෙළෙඳසැල හිමිකරු සහ ඔහුගේ වැඩිමහල් සොහොයුරා අතර කලක සිට ඉඩම් ආරවුලක් පැවති අතර ඊට පළිගැනීමක් ලෙස වැඩිමහල් සොහොයුරා විසින් රුපියල් 60,000ක කොන්ත්‍රාත්තුවක්දී බාල සොහොයුරාට මෙසේ පහර දීම සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලිසිය කීය.

සිද්ධියෙන් පසුව පහර දීම සිදුකළ පුද්ගලයා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් පොලිසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රණීත් මානවඩු මහතාගේ උපදෙස් මත අපරාධ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරික්ෂක ජයතිස්ස, උපපොලිස් පරීක්ෂක චන්ද්‍රපාල, කොස්තාපල් (72926) රසංග, (77857) චතුරංග, (82174) රණසිංහ, (92502) ලක්ෂිත ඇතුළු නිලධාරීහු ඉදිරි පරීක්ෂණ පවත්වති.

 මත්තේගොඩ - ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න