businessman-death

පුටුවෙන් වැටී හිසට බරපතළ තුවාල සිදුවී යැයි සැක කර රෝහල්ගත කළ පානදුර මාලමුල්ල ව්‍යාපාරිකයෙකුගේ හිසට මොට ආයුධයකින් පහර දීමෙන් ඝාතනය කර ඇති බවට මරණ පරීක්ෂණ පරීක්ෂණයෙන් අනාවරණය වූ බව හිරණ පොලීසිය පවසයි. මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ, පාලිත විජේසිංහ (අවු.54) නමැත්තෙකි.

ඝාතනයට ලක්වූ ව්‍යාපාරිකයා මධ්‍යම රාත්‍රී වනතුරු වෙළෙ සැල විවෘත කරගෙන සිටීම පුරුද්දක් කරගෙන ඇති අතර, පසුගිය 6වැනිදා ඔහු එලෙස වෙළෙඳ සැල මධ්‍යම රාත්‍රිය වනතුරු විවෘත කරගෙන සිට ඇති බවත්,

ඔහුට ආහාර සපයන පුද්ගලයා ව්‍යාපාරිකයා හමුවීම සඳහා වෙළෙඳ සැලට පැමිණි අවස්ථාවේදී ඔහු පෙනෙන්නට නොසිටීම හේතුවෙන් සොයා බැලීමේදී අයකැමි මේසය අසල හිසෙන් ලේ ගලන තුවාල සහිතව වැටී සිටි දැක ඒ සම්බන්ධව 119 පොලිස් හදිසි ඇමතුම් අංශය වෙත දැනුම්දී 1990 සුවසැරිය ගිලන් රථය මගින් පානදුර මූලික රෝහල වෙත ප්‍රතිකාර සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇත.

එහිදී මූලික ප්‍රතිකාර ලබාදී කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා තිබූ ව්‍යාපාරිකයාව ජාතික රෝහලේ වෛද්‍යවරුන් විසින් නැවතත් පානදුර මූලික රෝහල වෙත යොමු කර ඇති අතර දින 11/2 කට පමණ පසු ව්‍යාපාරිකයා පෙරේදා (08දා) ජීවිතක්ෂයට පත්ව තිබිණි.



අදාළ මරණය ව්‍යාපාරිකයා අයකැමි මේසය අසල අසුන්ගෙන සිටි පුටුවෙන් ඇද වැටී හිසට සිදුවූ තුවාල හේතුවෙන් සිදුවූ එකක් යැයි අනුමාන කළද පානදුර අධිකරණයට ඒ සම්බන්ධයෙන් කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව වැඩබලන මහේස්ත්‍රාත් ජයන්තා පීරිස් මහත්මිය සිදුවූ ස්ථානයට පැමිණ එක විමර්ශන සිදුකර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකු ලවා පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙස පොලිසියට නියෝග කළාය. ඒ අනුව පානදුරට මූලික  රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එස් රවීන්දුන් මහතා පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වමින් සිටියදී එය මදකට නතර කර යළි සිද්ධිය වූ ස්ථානයට පැමිණ විමර්ශන සිදුකර පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා ව්‍යාපාරිකයාගේ මරණය හිසට මොට ආයුධයකින් සිදුවූ පහරදීමක් හේතුවෙන් සිදු වූ එකක් බවට එම වාර්තාවේ සදහන් කළ බව පොලිස් නිලධාරියෙක් පැවසීය

ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවසීය.

  බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ/ පානදුර - සුමිත්  පොතුපිටිය