cctv-for-bus

මගී ප්‍රවාහන බස් රථවල CCTV කැමරා සවි කිරීම අනිවාර්ය කිරීමට පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර තිබේ. පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් මෙම තීරණය ගෙන ඇත.



මගී බස් රථ සඳහා මාර්ග බලපත්‍ර නිකුත් කිරීමේදී ජීපීඑස් තාක්ෂණය තිබීම අනිවාර්ය කරන ලෙස ද කමිටු සභාපති නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.



මගී ප්‍රවාහන බස්රථවල සීසීටීවී කැමරා සවිකිරීමේ අවශ්‍යතාව මෙම රැස්වීමට පැමිණ සිටි පොලිස් නිලධාරීන් අවධාරණය කළ අතර ඒ අනුව බස් රථවල සීසීටීවී කැමරා සවි කිරීමට පියවර ගන්නා ලෙස කමිටු සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකාවේ ඇති අධිවේගී මාර්ග බොහොමයක් පාඩු ලබන බවත් පාඩු ලබන අධිවේගී මාර්ග පවත්වාගෙන යන්නේ ලාභ ලබන අධිවේගී මාර්ගවල ලාභයෙන් බවත් කමිටුවේදී අනාවරණය විය.

QR කේතයක් භාවිත කරමින් සියලුම අධිවේගී මාර්ගවල ගාස්තු ගෙවීමේ කාර්යක්ෂම ක්‍රමවේදයක් ආරම්භ කරන ලෙස සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.