ceb-officer-bag-shoes

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉහළම නිලධාරිනියක ප්‍රංශයේ සති තුනක අධ්‍යාපන චාරිකාවක් යාම වෙනුවෙන් මිලදී ගත් රුපියල් 35,000ක සපත්තු කුට්ටමකට සහ රුපියල් 28,000ක අත් බෑගයකට විදුලිබල මණ්ඩලය රුපියල් 63,000ක මුදලක් ගෙවා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් මහතා පැවසීය. එම සිද්ධිය පිළිබඳව කළ විමසුමේදී සභාපතිවරයා පැවසුවේ අදාළ ගෙවීම් පිළිබඳව පරීක්ෂණයක් කරන ලෙස විදුලිබල මණ්ඩලයේ විගණන අංශයට යොමු කළ බවත් විගණන වාර්තාවෙන් පසුව ඒ පිළිබඳව නිශ්චිත ප්‍රකාශයක් කළ හැකි බවත්ය.

මේ අතර බෑගය සහ සපත්තු කුට්ටමට වැය වූ රුපියල් 63,000ක මුදල සංචාරය නිමකර නැවත පැමිණීමට පෙර අදාළ සැපයුම්කරුවන්ට ගෙවන ලෙස එම නිලධාරිනිය මුදල් කළමනාකරුට නියෝග කර ඇති බවත් ඒ අනුව විදුලිබල මණ්ඩලය ඒ මුදල සැයුම්කරුවන්ට

දැනටමත් ගෙවා ඇති බවත් විදුලිබල මණ්ඩලයේ සේවකයෝ පවසති.එම අතිරේක සාමාන්‍යාධිකාරිවරිය ලබන වසරේ විශ්‍රාම යාමට නියමිත බවත් විදේශ සංචාර සඳහා සහභාගි වන නිලධාරීන්ට ගමන් මලු අදිය මිලදී ගැනීමට විදුලිබල මණ්ඩලයේ මුදල් භාවිත කළ නොහැකි බවත් සේවකයෝ කියති. විදුලිබල මණ්ඩලයේ ක්ෂේත්‍ර සේවයේ යෙදෙන සේවකයන්ට ආරක්ෂිත සපත්තු සඳහා හැර උසස් නිලධාරීන්ගේ පාවහන් සඳහා මණ්ඩලයට මුදල් ගෙවීමේ හැකියාවක් නොමැති බව කියන සේවකයෝ මෙම සපත්තු කුට්ටමට සහ අත්බෑගයකට මණ්ඩලයේ මුදල් ගෙවීම බරපතළ ගැටලුවක් බවද සඳහන් කරති.
යොහාන් භාසුර