cemetery-thef-nabbed

සුසාන භූමිවල මිහිදන් කර තිබෙන මළ සිරුරු අසල තැන්පත් කර තිඛෙන පෞරාණික වටිනාකමින් යුත් කිරිගරුඬ පාෂාණයෙන් නිම වන ලද දේවදූත ප්‍රතිමා සොරා ගැනීමේ නිරත සංවිධානාත්මක කල්ලියක තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව මොරටුමුල්ල පොලිසිය කියයි.අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර යුද්ධ හමුදා රෝහලේ වෛද්‍යවරියකගේ රියදුරකු, වෛද්‍යවරියට අයත් සුඛෝපභෝගි මෝටර් රථය සහ ලොරි රථයක් මෙන්ම තවත් සැකකරුවන් දෙදෙනෙකු වන බව පොලිසිය කියයි.

මොරටුව, කඩොලාන ශාන්ත අන්තෝනි කතෝලික දෙව්මැදුරට අයත් සුසාන භූමියේ 1914 වර්ෂයේදී අවසන් කටයුතු සිදුකර මිහිදන්කර තිබූ මිනී වළක් අසල ස්ථාපිත කර තිබූ පෞරාණික වටිනාකමකින් යුත් කිරිගරුඬ පාෂාණයෙන් නිමවූ දේවදූත ප්‍රතිමාවක් රාත්‍රි කාලයේදී සොරකම් කර ගලවාගෙන ගොස් ඇති බව මළවුන්ගේ දිනය

සිහිපත් කිරීම සඳහා ඉටිපන්දම් දැල්වීමට ගිය අවස්ථාවේදී කිරිගරුඬ පාෂාණයෙන් අලංකාරවත් ලෙස නිමකර ස්ථාපිත කර තිබූ දේවදූත ප්‍රතිමාව අස්ථානගතවී ඇතිබව දැක ඉන් අනතුරුව මහත් කම්පාවට හා කලබලයට පත්වූ ඥාති පිරිස විසින් මේ පිළිබඳව මොරටුමුල්ල පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබූ බව පොලිසිය පවසයි.

ලැබුණු පැමිණිල්ලට අනුව විමර්ශන ආරම්භ කළ පොලිස් නිලධාරීන් විසින් සුසාන භූමිය අවට සවි කර තිබූ සීසීටීවී කැමරා දර්ශන පරීක්ෂා කිරිමෙන් අනතුරුව රාත්‍රී කාලයේ සුඛෝපභෝගී කාර් රථයකින් පැමිණි පුද්ගලයන් පිරිසක් විසින් මොරටුව ශුද්ධවූ එම්මානුවෙල් දේවස්ථානයට අයත් සුසාන භූමියෙන් මෙවැනිම ආකාරයේ කිරිගරුඬ දේවදූත ප්‍රතිමාවක් සොරා ගෙන යන ආකාරය නිරීක්ෂණයවී ඇත.

ඒ අනුව වැඩිදුරටත් මෝටර් රථයේ අංකය ඔස්සේ විමර්ශන කටයුතු සිදු කිරිමෙන් පසු මෝටර් රථය කොට්ටාව ප්‍රදේශයේ මෝටර් රථ කුලියට ලබා දෙන ආයතනයක් විසින් ශ්‍රී ලංකා යුද හමුදා රෝහලේ සේවය කරනු ලබන වෛද්‍යවරියකගේ භාවිතය සඳහා කුලී පදනම මත ලබා දී ඇති එකක් බවට තහවුරු කරගත් බවත් ඉන් අනතුරුව ඇය පොලිස් ස්ථානය වෙත කැඳවා සිදුකළ ප්‍රශ්න කිරිම්වලදී වෛද්‍යවරියගේ රියැදුරු විසින් මෙම සොරකම සිදුකර ඇති බව අනාවරණය වූ බවද පොලිසිය පවසයි.



ඒ අනුව වෛද්‍යවරියගේ රියැදුරු අත්අඩංගුවට ගෙන සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය කර ගැනීමට හැකිව ඇත්තේ රියැදුරුවරයාගේ පියා අසනීපව සිටින බැවින් ඔහු වෙනුවෙන් සිදු වූ භාරයක් ඔප්පු කිරීම සඳහා පූජා කිරිමට කිරිගරුඬ පිළිමයක් අවශ්‍යවූ බැවින් පුද්ගලයෙකුගෙන් මෙම දේවදූත ප්‍රතිමාව ලබාගත් බව රියදුරුවරයා පොලිසියට පාපොච්ඡාරණය කළ බවද පොලිසිය පවසයි. අත්අඩංගුවට පත් සැකකරුවන් මෙවැනිම ආකාරයෙන් ඉතා දීර්ඝ කාලයක් තිස්සේ සුසාන භූමිවල සවිකොට ඇති කිරිගරුඬ ප්‍රතිමා සොරකම් කර ඇති බවට සැක කරන බවත් ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වන බවද පොලිසිය පවසයි.

මෙම කිරිගරුඬ ප්‍රතිමාවල වටිනාකම කොතෙක් දැයි තක්සේරු කර නොමැති බවත් ඉදිරියේදී මේ පිළිබඳ විශේෂඥයින්ගෙ දැනුම උපයෝගී කරගනිමින් මෙහි තක්සේරු වටිනාකම සහ පෞරාණික පිළිමදැයි සෙවීමට පරීක්ෂණ පවත්වන බවද පොලිසිය පවසයි.අත්අඩංගුවට පත් සැකකරුවන් තිදෙනා (14) වන දින මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
 බිමල් ශ්‍යාමන් ජයසිංහ