central-province-tution

පාසලේ පන්ති කාමරයේ දරුවන්ගෙන් මුදල් අය කර උපකාර පන්ති පැවැත්වූ මධ්‍යම පළාතේ ගුරුවරුන් 12දෙනෙකුට විනය ක්‍රියාමාර්ග ගත් බවත් ඔවුන්ට ස්ථාන මාරුවීම් ලබා දුන් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ.ගමගේ මහතා පැවසීය. පල්ලේපොල දී පැවති උත්සවයකට එක්වෙමින් හෙතෙම මේ බව පවසා සිටියේය.



 මේ පිළිබඳ අවධානය යොමු කර සියලු පාර්ශ්වවල අදහස් අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද හෙතෙම පැවසීය. පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තහවුරු කිරීමට පළාත් සභාවක් වශයෙන් ප්‍රථම වරට පාසලේ තම පන්තියේ දරුවන්ට මුදල් ලබා අමතර පන්ති පැවැත්වීම තහනම් කිරීමට කටයුතු කළ බවත්, එම තහනම වචනයට සීමා නොකර තහනම් නියෝග කඩ කළ ගුරුවරුන්ට මේ වන විටත් විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් සදහන් කර සිටියේය. මෙහිදී අදහස් දැක්වූ පල්ලේපොල ශාසානාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි,

පල්ලේපොල ඇහැලේපොල පුරාණ විහාරාධිපති පාලාවත්තේ සෝනුත්තර හිමියන් කියා සිටියේ ඉරිදා දිනයන්හි උදෑසන උපකාරක පන්ති පැවැත්වීම නිසා දරුවන් දහම් පාසල් නොඑන බවත් ඇතැම් ගුරුවරුන් කුඩා කණ්ඩායම් වශයෙන් පන්ති පවත්වන බවත්ය. මේ අතර ඇතැම් ගුරුවරුන් සුම් තාක්ෂණය ඔස්සේ පංති පවත්වන බවත් මධ්‍යම පළාත තුළ ඉරිදා උදෑසන උපකාරක පන්ති පැවැත්වීම නතර කිරීමට අදාළ පියවර ගන්නා ලෙස උන්වහන්සේ ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටියහ.

මාතලේ - මහේෂ් කීර්තිරත්න