cey-music-the-voice-mtv-sri-lanka

ප්‍රවීණ සංගීතවේදී රෝහණ වීරසිංහගේ පුත් පරිගණක ආරක්ෂණ විශේෂඥ කලිඳු වීරසිංහට අයත් සී මියුසික් පබ්ලිෂිං පුද්ගලික සමාගම මගින්
සිරස ටීවී නාලිකාව පවත්වා යන MTV  චැනල් පුද්ගලික සමාගමට එරෙහිව කර්තෘ හිමිකම් සම්බන්ධ නඩුවක් පවරා තිබූ අතර අද දින ඔවුන් එය ඉල්ලා අස්කරගත්තේ විත්ති පාර්ශ්වයට සිදුවූ අපහසුතාව වෙනුවෙන් නඩු ගාස්තුද ගෙවා දමමිනි.
'The Voice' රූපවාහිනී වැඩසටහනේ ප්‍රචාරයවූ ඇතැම් සංගීත නිර්මාණ සී මියුසික් පබ්ලිෂිං සතු ඒවා බවත් ඒවාට කර්තෘ හිමිකම් ගෙවිය යුතු බවත් නඩුවේදී සඳහන් කර තිබුණි.


අද(30) කොළඹ,වාණිජ මහාධිකරණය හමුවේ නඩුව කැඳවනු ලැබුවේ මින් පෙර නඩු වාරයේදී කර්තෘ හිමිකම් ගැටලුව කියාපෑම නිසා 2023  ජුලි මස සිට නොවැම්බර් මස අග දක්වා 'The Voice' සදහා වාරණ නියෝගයක්ද පැනවීමෙන් පසුවය.
කෙසේ වෙතත් අද දින සී මියුසික් පබ්ලිෂිං පුද්ගලික සමාගමේ නීතීඥවරයා විසින් මෙම නඩුව ඉල්ලා අස්කර ගන්නා බව අධිකරණයට දැනුම් දුන්නේ එම නඩුවේ නම් කර ඇති පාර්ශ්වය වැරදි ලෙස නම් කර තිබූ බව පිළිගනිමිනි.

සීමාසහිත MTV චැනල් පුද්ගලික සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර මහතා ප්‍රකාශ කළේ, මාස 5 ක වාරණ නියෝගයක් ක්‍රියාත්මකව තිබූ බවත් අද පැමිණ නිදහසේ නඩුවක් ඉල්ලා අස්කරගෙන අලුතින් නඩු පැවරීමට අයිතිය රඳවා තබා ගැනීම විත්තිකරුට සාධාරණ නොවන බවයි.



විත්තිකරුට දැනටමත් සිදුවී ඇති හානිය මැකී නොයන බවත් විත්තිකරුගේ අයිතිවාසිකම් ඉන් අහිමි කරන බවත් නීතිඥවරයා පෙන්වා දුන්නේ ය.

එබැවින්, විත්තිකරුට ගෙවන වියදම්වලට යටත්ව, අලුතින් නඩු පැවරීමට ඉඩ නොතබමින්, නඩුව නිෂ්ප්‍රභ කළ යුතු බව සීමාසහිත MTV චැනල් පුද්ගලික සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට දන්වා සිටියේ ය.  
 
ඒ අනුව විත්තිකරු දරණ ලද සියලු වියදම් විත්තිකරුට ගෙවීමට යටත්ව, පැමිණිලිකරුගේ නඩුව විනිසුරුවරයා විසින් නිෂ්ප්‍රභ කළේ ය.


අලුතින් විත්තිකරුට එරෙහිව නඩුවක් පැවරීමේ අයිතිය රදවා ගැනීමට පැමිණිල්ල කළ ඉල්ලීමද අධිකරණය ප්‍රතික්ෂේප කරනු ලැබුවේය .   

ජුලියස් ඇන්ඩ් ක්‍රීසි නීතිඥ සමාගමේ උපදෙස් මත ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර මහතා, ෂෙහාන් ගුණවර්ධන මහතා සහ නීතිඥ දුලාංජන  ගමගේ මහතා MTV චැනල් පුද්ගලික සමාගම වෙනුවෙන් නඩුවට පෙනී සිටියහ.