chamari-atapatthu-big-bash

ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් පන්දුවාර 20 ක්‍රිකට් ලීගයේ මෙවර දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලංකා සුපිරි පිතිකාරිනී චමරි අතපත්තු සමත් වූවාය. ඒ සම්බන්ධයෙන් සිදුකෙරුණු ඡන්ද විමසීමේදී වැඩිම ඡන්ද ප්‍රමාණයක් හෙවත් ඡන්ද 30ක් හිමිකර ගනිමින් චමරී මෙම සම්මානය දිනා ගන්නා ලදී.

සිය සම්මානයට උපරිම සාධාරණයක් කළ චමරි තරගාවලියේ මේ දක්වා පැවති තරගවල දෙවැනි වැඩිම ලකුණු ලාභිනිය බවට පත්විය. ඒ සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායමට ක්‍රීඩා කරමින් ඉනිම් 13කදී ලකුණු 511ක් රැස් කරගනිමිනි. ඊට අර්ධ ශතක 5ක්ද ඇතුළත් විය. එහිදී ඇයගේ ඉනිමක සාමාන්‍යය 42.58ක් ලෙස දැක්වුණු අතර ප්‍රහාරාත්මක වේගය දැක්වුණේ 129.69ක් ලෙසිනි.



එහිදී පන්දුවෙන්ද දස්කම් දැක්වූ චමරී කඩුලු 9ක් දවා ගැනීමට සමත් වූයේ පන්දු වාරයක ලකුණු ලබාදීමේ වේගය 6.79ක් ලෙස රඳවා ගනිමිනි.

ඇයගේ දක්ෂතා නිසා මෙවර තරගාවලියේ මූලික වටයේ ප්‍රසාද ලකුණු සටහනේ සිවුවැනි ස්ථානය හිමිකර ගනිමින් පිළිමලුන් පිටුදැකිමේ වටයට සුදුසුකම් ලබා ගැනීමට තන්ඩර්ස් කණ්ඩායම සමත් විය.

කෙසේ වෙතත් දක්ෂතම ක්‍රීඩිකාව සම්මානයට චමරී සමගින් දැඩි තරගයක් ලබාදුන් ඇල්ඩ් ස්ට්‍රයිකර්ස් ක්‍රීඩිකා කේටි මැක් ඡන්ද 29ක් ලබා ගත් අතර, තරගාවලියේ මේ දක්වා වැඩිම ලකුණු ලාභිනිය වන බෙත්මුනි ඡන්ද 27ක් ලබා ගනිමින් සටහනේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් වූවාය.



මෙවර බිග් බෑෂ් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩිකාවන් තෝරා ගැනීමට අදාළ ක්‍රීඩක කෙටුම්පත්කරණයේදී (Player Draft) චමරිව කණ්ඩායමට තෝරා ගැනීමට කිසිදු කණ්ඩායමක් උනන්දුවක් නොදැක්වූ නිසා ඇයට මෙවර තරගාවලිය අහිමිවීමේ අවදානමක්ද පැවැතිණි.

කෙසේ වෙතත් අවසන් මොහොතේදී ඇයට තරගාවලියට ක්‍රීඩා කිරීමට හැකි වූයේ තන්ඩර්ස් කණ්ඩායම විසින් ඇයව සිය කණ්ඩායමට එක්කර ගැනීම නිසාය.

ඕෂිත වරකපිටිය.