chennai-sri-lanka-cricket

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලාංකීය ක්‍රීඩාලෝලීන්ගේ බහුතර කැමැත්ත මුම්බායි ඉන්දියන්ස් වෙතින්, චෙන්නායි සුපර් කිංග්ස් වෙත විතැන්වීමට ප්‍රධානම හේතු සාධකය වූ මහීෂ් තීක්‍ෂණ හා මතීෂ් පතිරණ තවදුරටත් සිය කණ්ඩායම තුළම රඳවා ගැනීමට චෙන්නායි පාලනාධිකාරිය තීරණය කර ඇත.

2022 වසරේ අයි.පී.එල්. වරම් දිනාගත් මෙම දෙදෙනාගෙන් මහීෂ් මේ වනවිට තරග 22කට ක්‍රීඩාකර කඩුලු 23ක් බිඳහෙළා ඇති අතර, මතීෂ මේ දක්වා චෙන්නායි වෙනුවෙන් තරග 14 කට ක්‍රීඩාකර කඩුලු 21 ක් බිඳහෙළා තිබේ.සුප්‍රකට අයි.පී.එල්. තරගාවලියේ එළඹෙන අදියරට අදාළ ක්‍රීඩක වෙන්දේසිය ලබන දෙසැම්බර් මස 19 වැනිදා ඩුබායිහිදී සිදුකිරීමට නියමිතව ඇති අතර

ඊට පෙරාතුව කණ්ඩායම් හිමිකරුවන් විසින් තමන් රඳවාගන්නා හා නිදහස් කරගන්නා ක්‍රීඩක ලැයිස්තුව ඊයේ (26දා) ප.ව. 4.00ට පෙර ප්‍රකාශයට පත්කළ යුතුව තිබුණි.

ඒ අනුව චෙන්නායි සුපර් කිංග්ස් (CSK) පසුගිය තරග වාරයේද කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ලංකාවේ මහීෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණ තවදුරටත් රඳවා ගැනීමට තීරණය කර තිබේ. මෙලෙස ඔවුන් දෙදෙනා කණ්ඩායමේ රඳවා ගනිද්දී, බෙන් ස්ටෝක්ස්, ඩ්වේන් ප්‍රිටෝර්යස්, කයිල් ජේමිසන්, සිසඳ මාගලා වැනි විදෙස් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම නිදහස් කර ඇත.

ඒ අනුව මහීෂ් හා මතීෂ සමග නායක එම්.එස්, දෝනි, ඩෙවොන් කොන්වේ, රුතුරාජ් ගයිඩ්, අජින්ක්‍යා රහානේ, රවීන්ද්‍ර ජඩේජා,මිචෙල් සැන්ට්වර්, මොයින් අලි, ශිවම් ඩුබේ, දීපක් චහාර් යන ක්‍රීඩකයන්ද එම කණ්ඩායම වෙනුවෙන් තවදුරටත් ක්‍රීඩාකරති.කෙසේ නමුත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් වෙනුවෙන් ක්‍රීඩා කළ වනිඳු හසරංග, ගුජරාට් ටයිටන්ස් වෙනුවෙන් ක්‍රීඩා කළ දසුන් ශානක හා පන්ජාබ් කිංග්ස් වෙනුවෙන් ක්‍රීඩා කළ භානුක රාජපක්‍ෂ වෙන්දේසිය වෙනුවෙන් ඒ ඒ සංචිතයන්ගෙන් නිදහස් කර ඇත.

මේ අතර අයි.පී.එල්, තරගාවලියේ පෙරළිකාර කණ්ඩායමක් වන

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ නිත්‍ය නායක ලෙස කටයුතු කළ හර්දික් පා තවදුරටත් එම කණ්ඩායම වෙනුවෙන් රඳවා ගැනීමට ගුජරාට් හිමිකරුවන් තීරණය කර ඇත. පාන්ඩ්‍යා  ඉන්දීය රු.කෝ. 15කට මුදලකට මුම්බායි ඉන්දියන්ස් සමගින් එක්වනු ඇති බවට මීට පෙර තොරතුරු වාර්තා වී තිබුණි. 2015 වසරේ සිට මුම්බායි කණ්ඩායම නියෝජනය කළ පාන්ඩ්‍යාව  2021 වසරෙන් පසුව එම කණ්ඩායමෙන් නිදහස් කිරීමට මුම්බායි පාලනාධිකාරිය කටයුතු කළේය. කෙසේ නමුත් පාන්ඩ්‍යාගේ  වටිනාකම හොඳින්ම දන්නා ගුජරාට් ටයිටන්ස්, ඔහුව ඉහළ වටිනාකමකට සිය කණ්ඩායමට එක්කර ගත්තේය. එම තීරණය පාන්ඩ්‍යා  විසින් සාධාරණීකරණය කරනු ලැබුවේ, 2022 වසරේ අයි.පී.එල්. ශූරයන් ලෙසත්, 2023 වසරේ අනුශූරයන් බවටත් ගුජරාට් ටයිටන්ස් පරිවර්තනය කරමිනි. ඒ අනුව පාන්ඩ්‍යා  කණ්ඩායමෙන් ඉවත් නොවන හෙයින් ගුජරාට් කණ්ඩායමට නව නායකයෙකු සොයාගැනීමේ අවශ්‍යතාවක්ද පැන නොනගිණු ඇති, යම් හෙයකින් ඔහු මුම්බායි  සමගින් එක්වූවානම්, කණ්ඩායම් නායකත්වයට ශුබ්මන්  ගිල් පත්කිරීමට වැඩි ඉඩක් තිබුණි.

විශ්ව මුදියන්සේ