cid-questioned-drug-dealers

ප්‍රමිතියෙන් තොර ප්‍රතිජීවක එන්නත් ගෙන්වා රජයේ රෝහල්වලට ඛෙදාහැරිය බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මහතා ඇතුළු දහ දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කර ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.



ප්‍රධාන විධායක නිලධාරියාගෙන් පමණක් අවස්ථා කිහිපයකදීම සිද්ධියට අදාළව වරින්වර ප්‍රකාශ සටහන් කරගත් බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවස්ථා කිහිපයකදීම ඖෂධ නියාමන අධිකාරියට පැමිණ විමර්ශන සිදුකළ බවත්, මෙම ගනුදෙනුවට අදාළව ලිපි ලේඛන සිය බාරයට ගත් බවත් එම ආරංචි මාර්ග පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ මෙරට ඖෂධ සමාගම් හිමිකරුවකු වන සුගත් ජානක ප්‍රනාන්දු නමැත්තා මෙම මස 15 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත් කර ඇත.



මෙම පුද්ගලයාට අමතරව ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක යන අයට එරෙහිවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය මගින් ගුවන් ගමන් තහනමක් ලබාගෙන ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකක (1) හි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත පයාගල මහතාගේ මෙහෙය වීමෙන් මෙම විමර්ශන පැවැත්වේ.

-ඉන්දිකා රාමනායක