colombo-pub-police

කොල්ලුපිටිය 19 වන පටුමගේ රාත්‍රි සමාජ ශාලාවක් වෙත පැමිණි පුද්ගලයන් දෙදෙනකුට අමානුෂික ලෙස පහර දුන් බව කියන කාන්තාවන් දෙදෙනකු සහ ආරක්ෂක නිලධාරීන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.


පෙරේදා (5) අලුයම් කාලයේදී මෙම පහරදීම සිදුකර තිබිණි.
පහර කෑමෙන් තුවාල ලද දෙදෙනාගෙන් අයෙකු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සහ අනෙක් පුද්ගලයා කොළඹ පෞද්ගලික රෝහලක මේ වන විටත් ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.
මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ මාර්ග ගත ක්‍රමය ඔස්සේ රැකියාව කරන පුද්ගලයෙකු සහ මෑතකදී විදේශ රටක රැකියාවක් සිදු කර මෙරටට පැමිණි පුද්ගලයෙකි.

  ඔවුන් රත්මලාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37 හා 38 පසුවන්නත් ය.

ඔවුන් දෙදෙනා සමාජ ශාලාව වෙත ගොස් 5 වෙනි දින අලුයම වන තෙක් මත්පැන් පානය කර ඇති අතර සමාජ ශාලාව වසා දැමීමට නියමිත බැවින් පිටව යන ලෙස දැනුම් දී තිබූ බව පොලිසිය කියයි.

ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර බහින් බස් වීමක් ඇති වීමෙන් අනතුරුව මෙම පුද්ගලයන් දෙදෙනාට සැකකරුවන් පිරිස වටකර පහරදී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එම පහරදීම සමාජ ශාලාවේ සවිකර ඇති ආරක්ෂිත කැමරාවල ද මනාව සටහන්ව ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මෙම සිදුවීමෙන් පසු ග්‍රෙගරි පාරේ මෙට්ලන් හන්දියේ දී මධ්‍යම රාත්‍රියේ මෝටර් රථයක් තුළ සමාජ හාලාවේ සිට ආ කාන්තාවන් දෙන්නෙකු මත්පැන් පානය කරමින් සිටි අතර ඔවුන් පරීක්ෂා කිරීමට ගිය පොලිස් නිලධාරීයා පහරකා ඇත. පහරදීමෙන් පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

සැකකාරියන්ගේ පහර කෑමට ලක්ව තුවාල ලබා ඇත්තේ, කොළඹ නාගරික රථවාහන මූලස්ථානයට අනුයුක්තව රාජකාරි කරමින් සිටි කොස්තාපල්වරයෙකි. බීමතින් පොලිස් කොස්තාපල්වරයාට පහර දීම සම්බන්ධයෙන් සැකකාරියන් දෙදෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය කියයි.

කොළඹ නාගරික රථවාහන කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් පෙරේදා රාත්‍රියේ බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක නිරතව සිට පොලිස් ස්ථානය බලා යළි ගමන් කරමින් සිටියදී මෙම කොස්තාපල්වරයා පැදවූ යතුරුපැදියේ ඉන්ධන අවසන් වීම හේතුවෙන් ඔහු යතුරුපැදිය තල්ලුකරගෙන ගොස් ඇත.

සැකකාරියන් දෙදෙනා සහ තවත් පුද්ගලයකු ග්‍රෙගරි පාරේ මේට්ලන්ඩ් හන්දියේදී මෝටර් රථයක් තුළ මත්පැන් පානය කරමින් සිට ඇති බව පොලිසිය පවසයි.කොස්තාපල්වරයා ඔවුන් අසලට ගොස් ඔවුන් කවුරුන්ද යන්න පිළිබඳ තොරතුරු විමසීමේදී මත්වී සිටි සැකකාරියන් දෙදෙනා කොස්තාපල්වරයාට පරුෂ වචනයෙන් බැන වැදී පහර දී ඇති බව පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකාරියන් දෙදෙනා කොල්ලුපිටිය හා මාදම්පිටිය යන ප්‍රදේශවල පදිංචිකාරියන් වන අතර ඔවුන් අවුරුදු 43, 30 යන වයස්වල පසුවන්නියන් බවත් පොලිසිය කියයි. සැකකාරියන් දෙදෙනා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය කියයි. කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආලෝක බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් මේ පිළිබඳ පරීක්ෂණ පැවැත්වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරියන් ගල්කිස්ස, රත්මලාන, දෙහිවල සහ කොළඹ අවට පදිංචිකරුවන් ය. සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.