cricket-colombo-protest

ක්‍රිකට් ක්‍රීඩාව වර්තමානයේ සිදුව ඇති අවාසනාවන්ත තත්ත්වයෙන් මුදවා දෙන ලෙස ඉල්ලා උද්ඝෝෂණ කිහිපයක්ම අද දින පැවැත්වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අසළ උද්ඝෝෂණයට විශාල පිරිසක් එක්ව තිබූ අතර පසුගියදා කථාබහට ලක්වූ ධනිෂ් අලී ඇතුළු පිරිසක්ද මෙහි සිටිනු හඳනාගන්නට ලැබිණි.

තවත් උද්ඝෝෂණයක් අද(9) උදෑසන අම්බලන්ගොඩ නගර සභා ක්‍රිකට් කීඩාංගණය ඉදිරිපිටදී පැවැත්විණ.
අම්බලන්ගොඩ ක්‍රිකට් ලෝලීන් කියා සිටින්නේෙ දේශපාලන හස්තයෙන් ක්‍රිකට් ක්‍රීඩාව මුදවාදී හෙට දවස යහපත් කර දෙන ලෙසය.

මේ අතර ක්‍රිකට් දූෂණ ගැන පාර්ලිමේන්තු විවාදයක් අද පැවැත්වෙන අතර කිසියම් කලබලයක් මතුවේ යයි සිතා
ක්‍රිකට් ආයතනය ඉදිරිපිට මාර්ගය පොලීසිය විසින් වසා දමා තිබේ.



ඒ අනුව මෙට්ලන්ඩ් පාර, ටොරින්ටන් මංසන්ධියේ සිට ගමනාගමනය සහ මාර්ගයට ප්‍රවේශ වීම වළක්වා ඇත.
 පොලීසියට අමතරව හමුදාවද කැඳවා ඇති අතර,  බත්තරමුල්ලේ සීලරතන හිමි ලිපියක් භාර දීමට ක්‍රිකට් ආයතනය වෙත පැමිණ තිබූ බවද වාර්තා විය. පොලීසිය  උන්වහන්සේ ව අතරමඟ දී නවතා ඇති නමුත් පසු ව ලිපිය භාර දීමට අවස්ථාව ලබා දී තිබේ.

මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද ආරම්භ වූයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඒකාබද්ධ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟයි.
ප්‍රේමදාස මන්ත්‍රීවරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය ඉවත් කිරීමේ ඒකාබද්ධ යෝජනාවක් සභාගත කළ අතර එය ආණ්ඩු පක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා විසින් ස්ථිර කරන ලදී.



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය ඉවත් වී නව ක්‍රීඩා පනතක් සම්මත කළ යුතු බවට පක්ෂ නායකයින්ගේ ඒකාබද්ධ ස්ථාවරය මෙම යෝජනාවයි.

දූෂණයෙන් තොර විනිවිද භාවයෙන් යුත් ක්‍රිකට් පාලනයක් පවත්වාගෙන යාමට නම් ක්‍රිකට් පරිපාලනයට නව නීති සම්පාදනය කළ යුතු බව පක්ෂ නායකයින්ගේ අදහස වී ඇති බව වාර්තා වේ.

විවාදය අද දවස පුරා පැවැත්වී සවස 5.30ට ඡන්ද විමසීමක්ද පැවැත්වේ.