cricket-cope-critic

ඊයේ (14) සන්ධ්‍යා කාලයේ රටේම අවධානය යොමුවූයේ පාර්ලිමේන්තුවේ කෝප් කමිටු‌වට ක්‍රිකට් ආයතනය කැදවූ අවස්ථාවේදී ඔවුන් එල්ලව ඇති චෝදනා ගැන මොනවා කියාවිද කියාය.
නමුත් කමිටුවේ වීඩියෝ කොටස් සමාජ මාධ්‍ය තුළ පැතිර ගිය පසු බොහෝ අය අපේක්ෂා බංගත්වයට පත්වූහ. පිටතදී එල්ලවූ චෝදනා වෙනුවට වෙනත් සරල කරුණු කිහිපයක් මාතෘකාවට පිටින් කථා කර කමිටු සාකච්ඡාව පුස්සක් බවට පත්ව ඇතැයි චෝදනා එල්ල විය.
මේ අතර අද වාර්තාවූයේ කමිටුවට එක්වූ අය යම් යම් විවාදාත්මක ප්‍රශ්න ඇසීමට ඉදිරිපත්වූවද සභාපතිවරයා බාධා කළ බවයි.
කෝප් කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ හැසිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී කතා කළ අතර ඔහු බරපතළ චෝදනා එල්ල කළේය.
විපක්ෂනායකවරයා කියා සිටියේ රංජිත් බණ්ඩාර මහතා හස්ත සංඥා කරමින් මන්ත්‍රීවරුන්ගේ අදහස් දැක්වීම නවත්වා ඇති බවකි.



ඉන් පසුව අදහස් දැක්වූ කමිටුවේ ඊයේ පෙනී සිටි විපක්ෂ මන්ත්‍රීවරුන් වන හේෂා විතානගේ, චමින්ද විජේසිරි, එස්.එම්. මරික්කාර්, නලින් බණ්ඩාර යන මහත්වරුද මෙම අදහස තහවුරු කරමින් කෝප් කමිටුවේ සිදුවූ සිදුවීම් අනාවරණය කිරීමට පියවර ගත්හ.
ඒ අනුව ඔවුන් ඉල්ලා සිටියේ වෙනත් මන්ත්‍රීවරයකු සභාපති කොට ඊළග සභාවාරයට ක්‍රිකට් ආයතනය කැදවිය යුතු බවකි.
 ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ප්‍රේම්නාත් දොළවත්ත මහතාද කියා සිටියේ වැඩබලන වෙනත් සභාපතිවරයෙකු හෝ පත්කර නිසි විමර්ශනයක් අරඹන ලෙසයි.

ඊයේ කෝප් කමිටුව අතරවාරයේදීද මන්ත්‍රී ප්‍රේමනාත් සී දොළවත්ත මහතා මෙම ප්‍රශ්නය යොමු කළ අතර එහිදී සභාපතිවරයා කියා සිටියේ ‘ෆේස් බුක් වල කරන විවේචන අහන්න නෙමේ මේක කැඳෙව්වෙ‘ ලෙසිනි.



සභාපතිවරයා නියමයෙන් හෝ අනියමයෙන් සාක්ෂිකරැවන්ගේ උත්තර හසුරවන සහ උත්තරවලට බලපෑම් සිදු කර ඇති බවට වීඩියෝ දර්ශන ඇති බවත් එය බරපතල කරුණක් බැවින් මේ සම්බන්ධයෙන් පරික්ෂණයක් පැවැත්විය යුතු බවත් කෝප් කමිටුවේ සභාපතිවරයාගේ ඒ නොමනා හැසිරීම එම කමිටුවේ සිටි සෙසු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝනය කිරිමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
කෝප් විසින් සිදුකරන විමර්ශන වෙනුවට විපක්ෂයේ මන්ත්‍රීවරයකුගේ ප්‍රධානත්වයෙන් වෙනම පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කරන ලෙස ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය. .

"ඊයේ කෝප් කමිටු රැස්වීමේ වීඩියෝ පටයට අනුව වැදගත් සහ අදාළ කරුණු මගහරිමින් අදාළ නැති දේවල් සාකච්ඡා කර ඇති බව පැහැදිලියි. කෝප් කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විකුණා ඇත්දැයි මට සැකයි," ඔහු පැවසීය.
 
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහභාගි වූ කෝප් කමිටු රැස්වීමේ සම්පූර්ණ වීඩියෝ දර්ශන තමාට ලබාදෙන ලෙස ඔහු කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.



මෙම චෝදනා වලට පිළිතුරු දුන් සභාපති ලෙස සිටි මහාචාර්ය රංජිත් බණ්ඩාර කියා සිටියේ වෙනදා කෝප් වෙත නොඑන විශාල මන්ත්‍රී පිරිසක් ඊයේ පැමිණ තිබූ බවත් ඔවුන්ට අවශ්‍ය වූයේ මෙය දේශපාලනික වාසියට ගන්නට බවත් තමා ඊට ඉඩ නොදුන් බවත්ය.