ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ කටයුතු අත්හිටුවමින් අතුරු තහනම් නිකුත් කිරීමේ සිද්ධියට අදාළ නඩු විභාගයෙන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා අද ඉවත්විය.
මෙම නඩුවට අදාළව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ගොනුකළ මෝසම අද අභියාචනාධිකරණය සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විකුම් කළුආරච්චි යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙලෙස ඉවත් විය.
එහිදී ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා විමසීම සම්බන්ධයෙන් තම සේවාදායකයා විරෝධය පළ කරන බවය.
එහිදී සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා සඳහන් කළේ පසුගිය දිනවල ක්‍රීඩා අමාත්‍යවරයා ඇතැම් අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තමන් සම්බන්ධයෙන් අසාධාරණ විවේචන එල්ල කිරීම හේතුවෙන් තමන් මෙම නඩු විභාගයෙන් ඉවත්වීමට තීන්දු කළ බවය.
ඒ අනුව අදාළ පෙත්සම විභාගය සඳහා වෙනත් විනිසුරු මඩුල්ලක් ඉදිරියට යොමු කිරීමටද තීන්දු වූ නමුත් එම දෙවන කණ්ඩායමේ විනිසුරුවරයෙකුද ඉවත් විය.
මෙම පෙත්සම සලකා බැලීම සඳහා අද (14) සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහතුන්ගේ සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුපසු විනිසුරු ධම්මික ගනේපොල මහතා පුද්ගලික හේතුවක් මත මෙම නඩුවට සහභාගි වීමට කැමැත්ත පළ නොකරන බැවින් සුදුසු විනිසුරු මඩුල්ලක් නම් කිරීම සඳහා අදාළ පෙත්සම යළිත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වෙත යොමු කරන්නැයි දැන්වීය.
ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහි පෙත්සම සලකා බැලීම සඳහා නව විනිසුරු මඩුල්ලට
ඩී.එන්.සමරකෝන් සහ නීල් ඉද්දවෙල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නම් කර ඇත.විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාළ පෙත්සම අද සලකා බලන්නට මෙම විනිසුරු මාරුව නිසා බැරිව ගිය අතර ලබන 16 වනදා කැඳවීමට නියමිතයි.
0 Comments