cricket-roshan-shammi

ක්‍රිකට් අතුරු කමිටුව පත්කිරීමේ ගැසට්ටුව ඉවත් කරගන්නා ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ඉල්ලීමක් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ ඊයේ (6 වැනිදා) ප්‍රතික්ෂේප කර ඇත. ඒ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ඇමැති මණ්ඩල රැස්වීමේදීය. ක්‍රීඩා ඇමැතිවරයා පත් කළ අතුරු කමිටුව හේතුවෙන් ජාත්‍යන්තර බලපෑම් එල්ල විය හැකි බවට ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී ඇත.

තවද අධිකරණ නියෝගයක් ප්‍රකාශයට පත්වුවහොත් පත්වන තත්ත්වය පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී කරුණු පැහැදිලි කර තිබේ.

එම අවස්ථාවේදී ගැසට් නිවේදනය අහෝසි කරන ලෙසට ජනාධිපතිවරයා කළ ඉල්ලීමත් ඇමැතිවරයා ප්‍රතික්ෂේප කිරීම නිසා ක්‍රීඩා නීතිය තමන් යටතට පවරා ගන්නා බව ජනාධිපතිවරයා අවධාරණය කර ඇත. ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව පමණක් තමන්ට අවශ්‍ය නොවන නිසා ක්‍රීඩා අමාත්‍යාංශයම පවරා ගන්නා ලෙස මෙහිදී ක්‍රීඩා ඇමැතිවරයා පවසා ඇති බව කැබිනට් ආරංචිමාර්ග සනාථ කළේය. ඉන්පසු ක්‍රීඩා ඇමැතිවරයා පත් කළ ක්‍රිකට් අතුරු කමිටුව පිළිබඳ සෙවීමට කැබිනට් අනු කමිටුවක් පත්කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇත.



විදේශ කටයුතු ඇමැති අලි සබ්රි, මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්, විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර හා කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර කමිටු සාමාජිකයෝ වෙති.

ක්‍රිකට් අතුරු කමිටුව ගැසට් කිරීම සහ ඉදිරි කටයුතු පිළිබඳ සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා මෙම කමිටුවට දැනුම් දී ඇත.

ක්‍රීඩා ඇමැතිවරයා අතුරු කමිටුවක් පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත්ව නොසිටීමද විශේෂත්වයකි. ජනාධිපතිවරයා මේ පිළිබඳව ඊ​​යේ (6 වැනිදා) උදෑසන දැනුවත්ව ඇත්තේ මාධ්‍යයෙන් බවද වාර්තා වෙයි. ඒ අනුව ජනාධිපතිවරයා මේ පිළිබඳ විමසීමට ඊයේ දිනයේ ක්‍රීඩා ඇමැතිවරයා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එයද ව්‍යර්ථ විය.

ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය කිරීම සඳහා අතුරු කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ ඊයේ (6 වැනිදා) උදෑසන කටයුතු කර තිබිණි. සාමාජිකයන් සත් දෙනකුගෙන් යුත් මෙම අතුරු කමිටුවේ සභාපතිත්වය හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුණ රණතුංගට දී තිබිණි. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි. ඉමාඩ්, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණි මාරසිංහ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඉරංගනී පෙරේරා, උපාලි ධර්මදාස, නීතිඥ රඛිත රාජපක්ෂ. හිලාම් ජමල්දීන් එම කමිටුවේ සාමාජිකයෝ ලෙස කටයුතු කරති. 1973 අංක 25 දරන ක්‍රීඩා පනත මගින් දී ඇති බලතල යටතේ ඇමැතිවරයා විසින් මෙම අතුරු කමිටුව පත්කර තිබේ.

මෙම අතුරු පාලක කමිටුවේ සාමාජිකයන් සහ ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ අතර විශේෂ සාකච්ඡාවක් ක්‍රීඩා අමාත්‍යාංශයේදී ඊයේ (6 වැනිදා) දහවල් පැවැත් විණි.

ඉන් පසු අතුරු කමිටු සභාපති අර්ජුණ රණතුංග ක්‍රීඩා අමාත්‍යාංශයට ගොස් රාජකාරි කටයුතු ආරම්භ කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තරග පරාජයන්හි වගකීම තේරීම් කමිටුව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය භාරගත යුතු බවත්, නිලධාරින් ඉවත් විය යුතු බවත් දන්වා ක්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් යොමු කළේය. ඊට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ද ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කළේය. ඒ ක්‍රීඩා ඇමැතිවරයාගෙන් සිදුවන බලපෑම් නතර කරන ලෙස ඉල්ලමිනි. 
(උදයජීව ඒකනායක)