cricket-tax-free

ක්‍රිකට් ආයතනය හා ක්‍රීඩකයන්ගේ ආදායම සම්පූර්ණයෙන් බදුවලින් නිදහස් කර ඇති බවට සඳහන් ලිපියේ අන්තර්ගතය පිළිබඳ කඩිනම් පැහැදිලි කිරීමක් සිදු කරන ලෙස දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඊයේ (06දා) ලිඛිතව ඉල්ලා සිටි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආදායම සම්පූර්ණයෙන් බදුවලින් නිදහස් කර ඇති බවට ප්‍රකාශ කරමින් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අත්සනින් නිකුත් කළ බව කියවෙන ලිපියක් මේ වන විට සමාජ මාධ්‍ය ජාලාවල හුවමාරු වන බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත් ගේ මහතා සඳහන් කළේය.



මේ පිළිබඳව තම සංගමය විමතිය පළ කරන බවත්, මේ දක්වා බලධාරීන්ගේ ස්ථාවරය වූයේ කිසිදු පාර්ශ්වයකට හෝ පුද්ගල කණ්ඩායමකට බදු නිදහසක් ලබා දී නොමැති බවට යන්න බවත්, මෙලෙසින් තෝරාගත් එක් කණ්ඩායමකට පමණක් විශේෂිත ලෙස සැලකීම කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකි බවත් හෙතෙම පවසා සිටියේය.

වෛද්‍ය නිලධාරීන් සඳහා දැනට පවතින බදු ව්‍යුහය හඳුන්වා දීමට පෙර සිටම වැටුප් හා දීමනාවල හිඟ මුදල් ලැබෙන අවස්ථාවල පවා ඉතා අසාධාරණ ලෙස විශාල මුදලක් බදු ලෙස අයකරගෙන තිබෙන බවද ලේකම්වරයා සඳහන් කළේය.

ඒ අනුව මේ වන විට සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන ඉහත සඳහන් කළ ලිපියේ බදු සහන සම්බන්ධයෙන් වන අන්තර්ගතය පිළිබඳව කඩිනම් පැහැදිලි කිරීමක් සිදු කරන මෙන් ඉල්ලා සිටි බවද හෙතෙම පවසා සිටියේය.
- ඉන්දික හේවාවිතාරණ