dadalla-underworld

ගාල්ල දඩල්ල ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ සංචාරක හෝටලයක් ඉදිරිපිට 18 වැනිදා සිදුවූ වෙඩි තැබීම සංචාරක ප්‍රවාහන සමාගම් දෙකක් පවත්වාගෙන යන විදෙස්ගත සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනකු අතර පැවති කෝන්තරයක් මත සිදුව ඇති බවට පොලිස් විමර්ශන මගින් අනාවරණය වී තිබේ.

මෝටර් රථයකින් පැමිණි කණ්ඩායමක් විසින් 18 වැනිදා උදෑසන දඩල්ල ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ සංචාරක හෝටලයක් ඉදිරිපිට ත්‍රිරෝද රථයක සිටි පියපුතු දෙපළක් ඉලක්ක කරමින් වෙඩි තබා පලාගොස් තිබිණි.

වෙඩි ප්‍රහාරයෙන් කිසිවකුට හෝ හානි නොවූ අතර වෙඩි ප්‍රහාරයට ඉලක්ක වූ ත්‍රිරෝද රථ රියැදුරු විසින් ගාල්ල මූලස්ථාන පොලිසියට කරන ලද පැමිණිල්ලට අනුව පොලිස් පරීක්ෂණ ආරම්භ විය.

ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් විජේසිංහගේ උපදෙස් මත ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර තිබිණි.



වෙඩි තැබීමට ඉලක්ක ගතවූ පුද්ගලයා ත්‍රිරෝද රථ රියැදුරෙක් වන අතර ඔහු ඩුබායි හි රැඳී සිටින සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සුරංජි නමැත්තාගේ සමීපතමයකු බවද අනාවරණය විය. සුරංජි නමැත්තා උණවටුන හා ගාල්ල ප්‍රදේශවල සංචාරක හෝටල් සමගින් සබඳතා පවත්වමින් සංචාරකයන් සඳහා ප්‍රවාහන පහසුකම් සලසන සමාගමක් පවත්වාගෙන යන බවත් වෙඩි ප්‍රහාරයට ඉලක්ක වූ පුද්ගලයාද එම සමාගමේ රියැදුරකු මෙන්ම සම්බන්ධීකාරකවරයකු වශයෙන් කටයුතු කරන බවත් අනාවරණය වී තිබේ.

එමෙන්ම සුරංජි නමැත්තාට අමතරව උණවටුන ප්‍රදේශයේ පදිංචිව සිටි සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සුරේන් නමැත්තාද සංචාරකයන් ප්‍රවාහනය කරන සමාගමක් පවත්වාගෙන ගොස් ඇති බවත් මෙම ජාවාරම්කරුවන් දෙපළ අතර සංචාරක ප්‍රවාහනය සම්බන්ධයෙන් කලක පටන් ආරවුලක් තිබී ඇති බවත් පොලිසිය සඳහන් කරයි.



18 වැනිදා වෙඩි ප්‍රහාරයේ ඉලක්කය වූ පුද්ගලයාට දඩල්ලේ සංචාරක හෝටලයක සිටින විදේශිකයන් දෙදෙ‍නකු ඔහුගේ ත්‍රිරෝද රථයෙන් සංචාරයකට රැගෙන යාම සඳහා එම හෝටලයට පැමිණෙන ලෙස දුරකතන පණිවුඩයක් ලැබී ඇත. ඒ අනුව ඔහු තම 14 හැවිරිදි පුතා සමග පැමිණ හෝටලය ආසන්නයේ සිටියදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තැබීම සිදුකර ඇත.

හබරාදුව ප්‍රදේශයේ පවත්වාගෙන යන සංචාරක ලැගුම්හලකට එන සංචාරකයන්ගේ කුලී ගමන් නොයන ලෙස ඉලක්කගත පුද්ගලයාට විදෙස් ගතව සිටින සුරේන් නමැත්තා විසින් අවස්ථා කිහිපයකදීම තර්ජනය කර තිබෙන බවත් එම තර්ජනවලට අවනත නොවී සංචාරකයන් ප්‍රවාහනය කිරීම නිසා මෙම ප්‍රහාරය සැලසුම් කර ඇති බවත් අනාවරණය වී ඇත.

එමෙන්ම වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ තිබී මිලි මීටර් 09 වර්ගයේ එක් හිස් පතරොම් කොපුවක් සොයාගෙන ඇත.

මෙම වෙඩි තැබීමට අදාළව කරන ලද විමර්ශනවලට අනුව වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය සහ එය කුලියට ලබාගත් අයකු අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ තොරතුරු මත අනෙක් සැකකරුවන් තිදෙනාද අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනකු අත් අඩංගුවට ගැනීමට සිටින බවය.

මෝටර් රථය බෝගහගොඩ දොරපෙ පදිංචි කාන්තාවකගේ නමින් ලියා පදිංචිකර ඇති එකක් වන අතර එය සෙනසුරාදා හබරාදුව පිටිදුව පදිංචි පුද්ගලයකු කුලියට ලබාගෙන ඇත. පසුව ඔහු විසින් වාහනය පිටිදුව ප්‍රදේශයේම පදිංචි තවත් අයෙකුට ලබාදි ඇති අතර එසේ ලබාගත් පුද්ගලයා තවත් තිදෙනකු සමග මෙම වෙඩි තැබිමට පැමිණ ඇති බවත් අනාවරණයවි තිබේ.