deniyaya-incident

හිමිනමක් එල්ල කළැයි කියන තියුණු ආයුධ ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු ඊයේ (19 වැනිදා) අලුයම මියගොස් ඇතැයි දෙනියාය පොලිසිය කියයි.



මෙලෙස මියගොස් ඇත්තේ දෙනියාය පොලිසියට අනුයුක්තව රාජකාරී කරමින් සිටි කටුවන උඩුගොමඩියේ පදිංචි 37 හැවිරිදි සී.ජී. ධනුෂ්ක (89411) නමැති විවාහකයකු වේ.

මෙම පොලිස් කොස්තාපල්වරයා සිය පෞද්ගලික යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී දෙනියාය පොලිස් වසමේ පල්ලේගම ගංගොඩ පාරේ සම්බෝධි වැඩිහිටි නිවාසය අසලදී ඉකුත් 16 වැනිදා පස්වරුවේ තියුණු ආයුධ ප්‍රහාරයට ලක්ව තිබිණි.

දෙනියාය පල්ලේගම විහාරස්ථානයක වැඩ වාසය කරන වයස අවුරුදු 18ක් පමණ හිමිනමක විසින් මෙම පහරදීම කර ඇතැයි සැක කරයි. දෙනියාය පොලිසිය විසින් සැකකාර හිමිනම අත්අඩංගුවට ගනු ලැබීය.

තියුණු ආයුධ ප්‍රහාරයෙන් පොලිස් කොස්තාපල්වරයාගේ ගෙල ප්‍රදේශයට බරපතළ තුවාල සිදුව ඔහු දෙනියාය මූලික රෝහලට ඇතුළත් කර ඉන් කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබිණි. ඔහු එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇතැයි වාර්තා වේ.

මෙම පහරදීමට හේතුව ලෙස පොලිසිය සැකකරන්නේ සැකකාර හිමිනමගේ වැඩිමහල් සහෝදරියක සමග පොලිස් කොස්තාපල්වරයා පෙම් සබඳතාවක් පවත්වාගෙන යාමයි. මෙම සම්බන්ධතාව නතර කරන්නැයි කිහිප වාරයක්ම උන්වහන්සේ විසින් දැනුම්දී තිබී ඇතැයිද පැවසේ.



කෙසේ වුවද මෙම පොලිස් කොස්තාපල්වරයා දිවා සංචාරය අතරතුරදී සිය පෙම්වතියගේ නිවසට ඉකුත් 16 වැනිදා ගොස් සිටියදී සැකකාර හිමිනම විසින් ඔහුට දුරකථනයෙන් පණිවිඩයක් ලබා දී ඇති බවත් ඒ අනුව හිමිනම සහ පොලිස් නිලධාරියා පල්ලේගම ගංගොඩ පාර පිහිටි සම්බෝධි වැඩිහිටි නිවාසය අසලදී හමුවී ඇතැයිද කියයි.

එම අවස්ථාවේදි දෙදෙනා අතර වූ බහින් බස්වීමක් දුරදිග යෑමෙන් හිමිනම සිය බෑගයේ තිබූ තියුණු ආයුධයකින් පොලිස් කොස්තාපල්වරයාට පහරදි ඇතැයි අනාවරණය වී තිබිණි.

දෙනියාය පොලිසියේ නිලධාරි කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරති.