dhananjaya-siriwardane-father

තම ආදරණීය පියාණන් වියෝ වීමෙන් පසු ධනංජය සිරිවර්ධන, සිඟිති දියණිය වඩාගෙන සිය පියාණන්ගේ නිසල වූ දේහය දෙස බලාගෙන සිටින ඡායාරූපයක් ෆේස් බුක් පිටුවේ පළකර තිබූ අතර, පියා වෙනුවෙන් සටහනක් ද ලියා තිබිණි. ඒ සටහන මෙසේය.

දුවේ, ඒ තමා අපේ සමනළ කන්ද. සසල ගංඟාවල උපත නිසල කඳු බව කියා දෙන්නම් දිනෙක.....

ඉතින් අපටත් වඩා පියා ගැන දන්නේ ඒ පුතුන්ම නොවේද? ධනංජය සහ මධුමාධව තම ආදරණීය පියාණන් ගැන සඳැල්ලට කියා සිටියේ මෙලෙසිනි.

ධනංජය, තාත්තා පසුගිය කාලයේ අසනීප තත්ත්වයෙන් ද සිටියේ?

තරමක අසනීප තත්ත්වයක් තිබුණා. අවුරුද්දකට වඩා අඩු කාලයක දී තාත්තාගේ සෞඛ්‍ය තත්ත්වය දුර්වල වෙන්න පටන් ගත්තා. ඒ අතරේ දී තමයි තාත්තා ජීවිතයට සඳහටම සමුදුන්නේ.

පසුගිය කාලයේ දී එතුමා කලාවේ වැඩ වල නිරතව හිටියද?

අවුරුදු 80 වූ පසු විවේකී සුවයෙන් සිටියේ. ඒක තාත්තා සතුටින් ගත කළ සමයක්. තාත්තා බොහෝ වැඩ කළ කෙනෙක්. ඉතින් ඒ නිසාම එයාට විවේකය අවශ්‍යව තිබුණා. සමාජ මාධ්‍යයේ ප්‍රචාරය නොවුණට තාත්තා බොහෝ වැඩ කළ චරිතයක්. අවුරුදු 75න් පසුව කොහොමටත් තාත්තා විවේකීව ඉන්න බොහොම ප්‍රිය කළා.

තාත්තා ගැන පොඩි හැදින්වීමක් කරන්න පුළුවන් ද?

තාත්තාගෙ අධ්‍යාපන කටයුතුවලින් පසුව රැකියාව පටන් අරගෙන තිබුණෙ සංගීත ගුරුවරයකු ලෙස. පාසල් කීපයකම ඒ විදියට කටයුතු කිරීමෙන් පසුව ගායන ශිල්පියකු ලෙස හැත්තෑව දශකයේ අග භාගයේ සිට අනූව දශකයේ මුල දක්වා සක්‍රීයව කටයුතු කළා. විශාරද විභාගය සමත් වුණෙත් ඒ කාලයේදී. එදා තාත්තා ගැයූ ගී අතරින් ' රණ්ඩුවෙවී - යාළුවෙවී '' ගීතයට අමතරව, '' ඔබ මට විශ්වාසයි '' ඇතුළු ගීත ගණනාවක් කළා. අවසන් වතාවට කළ ගීත අතර කොවුලා සහ මුහුද හඬන වෙලාවේ '' බොහෝ සෙයින් ජනප්‍රිය වුණා. අවසන් වරට තාත්තා සංගීත නිර්මාණය කළේ ''ළඹ සවන් රන් පටින්” ගීතයට.

තාත්තාගෙ සහෝදර සහෝදරියන් ගැන සදහන් කළ හැකිද?

තාත්තා පවුලේ වැඩිමලා. ඊළඟට තව සහෝදරයෙක් හිටියා. චන්ද්‍රිකා නැන්දා බාලයා. බාප්පත් අද ජීවතුන් අතර නැහැ.

රූපවාහිනී සංස්ථාවෙත් තාත්තා සේවය කළා නේද?

ජාතික රූපවාහිනිය ආරම්භයේදීම වගේ තාත්තා එහි සේවයට එක්වුණා. ඒ අතරෙදී තමයි ලංකා ඉතිහාසයේ මුල් වරට රූපවාහිනී කැමරාව ස්ටුඩියෝවෙන් එළියට ගෙන ගොස් පසු පසින් වීඩියෝ කියන සංකල්පය ගෙනාවේ තාත්තා. "හද බැඳි ගී '' ටී.වී ෆෝග්‍රෑම් එක ඔස්සේ අදියර කීපයක් යටතේ සංගීතමය වැඩසටහන් කළා. පසු කලෙක “ලෙජන්ඩ්ස්" වූ බොහොමයක් ගායන තරු ප්‍රථම වරට හඳුන්වා දුන්නේ තාත්තා කළ ඒ වැඩසටහන් මාලාවෙන්. බඹර පහස, ලුණුදෙහි, තණ නිල්ල දිගේ ඇදිලා යනවා, නෙතින් නෙත බලලා ඇතුළු ගීත 500කට වඩා තාත්තා විෂුවල් කරලා තියෙනවා. බොහෝ ගායන ශිල්පීන්ගේ ආරම්භක අවස්ථාවට, ප්‍රවිශ්ටයට තාත්තා උදවු කරලා තියෙනවා. 1990 ජනවාරි 1 වැනිදා වසර ආරම්භයේ දී විකාශය වූ සංගීත ප්‍රසංග වැඩසටහන තමයි තාත්තා රූපවාහිනියේ කළ අන්තිම වැඩසටහන. ඒ වැඩසටහනින් තමයි ''මධුමාදව අරවින්ද” කියන ගායන ශිල්පියා රටට හඳුන්වා දුන්නේ. ඒ ප්‍රසංගයේ නම ''චතුර මධු'' . ලොවේ සැමා ගීතය විෂුවල් කළෙත් තාත්තා. රූපවාහිනියේ සිටිය දී ඒ වගේ වැඩ ගණනාවකට නායකත්වය දීලා, එයින් සමුගන්නකොට එයාගෙ සංගීත බැට්න් එක "මධු මාධව '' අයියට ලබා දුන්නා. එතැනින් එහාට මධු අයියා ගායනය කරද්දී, ජනප්‍රිය සංගීතය කියන කොටසින් තාත්තා අයින් වුණා. ඉන්පසුව ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු ලෙස අලුත් ගමනක් පටන් ගත්තා. ටෙලිවිව් අධිපති සුනිල් රත්නායකයන් හා එක්ව කෙටි කතා මාලාවක්. ඉන් පසුව ඔබයි රම්‍ය සඳ කිරණ ඇතුළු නාට්‍ය කීපයක් කළා. එහිදී අවසන් වශයෙන් කළේ “නේත්‍රාංජලී". තාත්තා එයාගෙ ටෙලිනාට්‍ය ගමන නතර කළේ එතැනින්. හැබැයි “ධනංජය සිරිවර්ධන” හඳුන්වා දෙමින් තමයි තාත්තා ඒ ගමන නතර කළේ.

 ඒ කියන්නෙ පුතාලා දෙන්නව ක්ෂේත්‍රයට හදුන්වලා දීලා තියෙන්නෙ තාත්තා?

අනිවාර්යයෙන්ම ඔව්. අපි දෙන්නා විතරක් නෙවෙයි, අපේ ලොකු අයියා මංජුල සිරිවර්ධන හිටියේ වසර 20ක් විතර විදේශගතවෙලා. එයා අතිදක්ෂ චිත්‍ර ශිල්පියෙක්. තාත්තාගෙ තිබූ සැඟවුණු කුසලතාවයක් වන 'චිත්‍ර කලාව” පිහිටලා තියෙන්නෙ මංජුල අයියට. තාත්තාගේ අත් අකුරු හරි විශේෂයි. ඒ නිසා ඒ දිනවල පරිගණකයට තාත්තාගෙ අකුරු නිර්මාණයෙන් + ෆොන්ට් එකක් පවා හඳුන්වලා ක්ෂේත්‍රවල දීලා තිබුණා. ඒ විදියට ක්ෂේත්‍ර ගණනාවකට දායකත්වය ලබා දුන් තාත්තා ඒ අවසාන වැඩසටහන් වෙතින් තමන්ගෙ දරුවන් තුන්දෙනා හඳුන්වා දීම. කරළියට ගෙන ඒම විශේෂ දෙයක්. ඒක බොහෝ දෙනා නොදන්නෙ, තමා කළ දේ ගැන උදම් ඇනුව කෙනෙක් නොවූ නිසයි. කොල්ලො තුන්දෙනා ක්ෂේත්‍ර තුනකින් ජාතික මට්ටමට ගියේ තාත්තා ලබාදුන්න ඒ ශක්තියෙන්. අන්න ඒ නිසා තමයි මම තාත්තාව හඳුන්වන්නෙ, මේ තමයි අපේ " සමනළ කන්ද” කියලා. සියලු ගංගා පටන් ගන්නෙ සමනළ කන්දෙන්. ඒ වගේ අපේ පවුලේ අපි කරළියට ගෙනා, අපි බිහි කළ අපේ සමනළ කන්ද අපේ තාත්තා. ඒ වගේම අතීතයේදී තාත්තා නළුවකු ලෙස එදිරිවීර සරච්චන්ද්‍ර ශුන්ගෙ පේමතෝ ජායතී සෝකෝ නාට්‍යයෙත් රඟපාලා තියෙනවා.

තාත්තා සහ අම්මා අතර තිබූ බැඳීම මොන වගේද?

තාත්තාට අවුරුදු 15දී තමයි අම්මාව මුලින්ම හඳුනාගෙන තියෙන්නේ. එතකොට අම්මගෙ වයස අවුරුදු 13ක් වුණාලු. ඉතාමත් දීර්ඝ කාලීන ප්‍රේමයක්. මම දැකපු සුන්දරතම ප්‍රේමය තමයි අපේ අම්මගෙයි තාත්තගෙයි ප්‍රේමය. තාත්තාගෙ අවසාන මොහොත දක්වා අම්මා තමයි තාත්තාව බලා ගත්තෙ.

තාත්තා අන්තිම කැමති පත්‍රය ලියා තියෙන්නෙ කොයි කාලෙදි ද?

මේ විදියට ඉතා සරලව චාම් විදියට අවසන් කටයුතු කරන්න කියලා. මීට වසර පහකට විතර පෙරදී තමයි තාත්තා ඒ විදියට අවසන් කැමති පත්‍රය ලියලා තියෙන්නෙ. ඒකට සාධාරණ හේතු තියෙන්න ඇති. තාත්තා කවදාවත් අනවශ්‍ය ජනප්‍රියත්වය සොයා ගිය කෙනෙක් නෙවෙයි. හරිම සරල ජීවිතයක් ගත කළ කෙනෙක්. එයාගෙ ලෝකය වුණේ දරුවන් තිදෙනා සහ අපේ අම්මා. එතැනින් එහාට ලෝකයක් නොතිබුණ නිසා තමයි පවුලේ අය පමණක් සහභාගි වන විදියට විදියට අවසන් කටයුතු කරන්නය කියන ඉල්ලීම කරන්නට ඇත්තේ. එතුමාගේ අවසාන කැමැත්තට අනුව තමයි අපි ඒ කටයුතු සිදු කළේ.


-සදුන් ගමගේ (Sandella)