diana-gamage

සමගි ජනබලවේගය පක්‍ෂයේ සභාපති සජිත් ප්‍රේමදාස සහ එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරමහත්වරුන්ට එම ධුර දැරීමට නිත්‍යනුකූල හැකියාවක් නොමැති හෙයින් එම ධුරවල කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා විනිසුරු සදුන් විතාන මහතා ඊයේ (24) ප්‍රතික්ෂේප කළේය.



සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුමබණ්ඩාර මහත්වරුන් සමගි ජනබලවේගය පක්ෂයේ තනතුරු වල කටයුතු කිරීම වළකාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය ගොනුකළ පෙත්සමකට අදාළ තීන්දුව දෙමින් දිසා විනිසුරුවරයා අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළේය.



ඩයනා ගමගේ මහත්මිය ගොනුකළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ සභාපති සජිත් ප්‍රේමදාස සහ එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහත්වරුන් නම් කොට තිබිණි.

සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරු එක් සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය දරන බවත් ඒ සම්බන්ධයෙන් ඔවුන් පැවරූ නඩු අධිකරණවල තවමත් විභාග වෙමින් පවතින බවත් සඳහන් කරන ඩයනා ගමගේ මහත්මිය සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාවට අනුව වෙනත් පක්ෂයක සාමාජිකත්වය දරන පුද්ගලයන්ට සමගි ජන බලවේගයේ සාමාජිකත්වය දැරිය නොහැකි බවද පෙන්වා දුන්නාය.

වග උත්තරකාර සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන් වෙනත් පක්ෂයක සාමාජිකත්වය දරන හෙයින් ඔවුන්ට සමගි ජන බලවේගයේ සාමාජිකත්වය මෙන්ම තනතුරු දැරීමට හැකියාවක් නොමැති බවට තීන්දු කොට ඔවුන් එම ධුරවල කටයුතු කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියාය.

මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ විභාගය අවසානයේ දී සිය තීන්දු ප්‍රකාශයට පත් කළ දිසා විනිසුරුවරයා පෙත්සම්කාරිය ඇතැම් කරුණු වසන් කිරීමට කටයුතු කර ඇතැයි අනාවරණය වී ඇතැයි පෙන්වා දුන්නේය.



වගඋත්තරකරුවන් අදාළ ධුරවල කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ දිසා විනිසුරුවරයා නඩුවට අදාළ උත්තර ලබන වසරේ පෙබරවාරි 12 වැනිදා ගොනු කිරීමට පාර්ශ්වකරුවන්ට නියම කළේය.

  මනෝප්‍රිය ගුණසේකර