diana-gamage-parliament

පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරා, රෝහණ බණ්ඩාර මහත්වරුන් අතර ඇති වූ සිද්ධියේදී තිදෙනාම පාර්ලිමේන්තුවේ ගෞරවයට හානිවන ආකාරයෙන් කටයුතු කර ඇති බව මූලික විමර්ශනවලදී හෙළිවී ඇතැයි විමර්ශන කමිටුවේ සභාපති පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පැවසීය.

මෙම රාජ්‍ය අමාත්‍යවරිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා අතර ඇති වූ සිදුවීම් සම්බන්ධයෙන් කමිටුව තවදුරටත් විමර්ශනය කිරීම සඳහා 9වැනිදා බ්‍රහස්පතින්දා අවසන් වරට රැස්වන බවත්, ඉන් අනතුරුව කමිටුවේ වාර්තාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ඉදිරිපත් කරන බවත් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා සඳහන් කළේය.



පාර්ලිමේන්තු සංකීර්ණය තුළ ප්‍රසිද්ධියේ එකිනෙකාට බැණ වැදීම, දෝෂාරෝපණය කරගැනීම, තල්ලුකරගැනීම, ගැටුම වීඩියෝ කර ගැනීම ඇතුළු කරුණු කිහිපයක් ඔස්සේ විමර්ශන කමිටුවේ දැඩි අවධානය යොමු වී ඇති බවත්, පාර්ලිමේන්තුවේ ගෞරවය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගෞරවය ආරක්ෂා වන පරිදි අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම මෙම කමිටුවේ ප්‍රධාන අරමුණ බවත් නියෝජ්‍ය කථානායක අපිත් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ දෙවන දිනටත් මෙම විමර්ශන කමිටුව ඊයේ(06දා) රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පසුගිය 20 වැනි දින සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහණ බණ්ඩාර, සුජිත් සංජය පෙරේරා මහත්වරුන් අතර ඇතිවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට කථානායකවරයා විසින් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් මෙම කමිටුව පත් කර ඇත.



සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරා සහ රෝහණ බණ්ඩාර යන මහත්ම මහත්මීහු ඊයේ(6දා) මෙම විමර්ශන කමිටුව වෙත පැමිණ සාක්ෂි ඉදිරිපත් කිරීමට කටයුතු කළහ.

රාජ්‍ය අමාත්‍යවරිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා වෙන වෙනම මෙම කමිටුව වෙත කැඳවා තිබුණ අතර ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා විට මෙම සිදුවීමට අදාළව පාර්ලිමේන්තුවේ CCTV දර්ශන ද නැරඹීමට සලස්වන ලදි.

ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ඊයේ දිනයේදී මෙම කමිටුව හමුවට කැඳවා තිබුණද, අත්‍යවශ්‍ය රාජකාරී කටයුත්තක් හේතුවෙන් ඒ මහතා ඊයේ දිනයේදී නොපැමිණි අතර මීළඟට කමිටුව රැස්වන 09 වැනිදා ඒ මහතා කමිටුව හමුවට පැමිණීමට නියමිතව ඇත.



මීට අමතරව ආණ්ඩු පක්ෂයෙන් හා විරුද්ධ පක්ෂයෙන් මෙම කමිටුවේ සාමාජිකයන් ලෙස නම් කරන ලද සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොළ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරාළ යන මහත්මීන්ද මීළඟ කමිටු රැස්වීමට සහභාගි වීමට නියමිතව තිබේ.

 -   දිනේෂ් සමරකෝන්