drug-fraud-finance-ministry

නිසි ක්‍රමවේදයකින් තොරව ප්‍රමිතියෙන් තොර ප්‍රතිජීවක එන්නත් කුප්පි මිලදී ගෙන රජයේ රෝහල්වලට බෙදා හැරිය බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශනවලට අදාළව, මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරියකගෙන් හා එහි සංවර්ධන මූල්‍ය අංශයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (28) පැය 9කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමකට අනුව ඔවුන් ඊයේ පෙරවරු 8.00ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටි අතර, මෙම ප්‍රශ්න කිරීම පස්වරු 4.00 පමණ දක්වා සිදු විය.

ඖෂධ මිලදී ගැනීමට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් සහ ඒ සඳහා ලබාදුන් මාර්ගෝපදේශය සම්බන්ධයෙන් මෙම ප්‍රශ්න කිරීම් කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.මුදල් අමාත්‍යාංශයේ තවත් කිහිප දෙනකුගෙන්ද ඉදිරියේදී ප්‍රශ්න කිරීමට නියමිත බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි. මෙම සිද්ධියේ  විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත පයාගල මහතාගේ මෙහෙයවීමෙන් සිදු කෙරේ.සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශන වලට අදාළව අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව අවස්ථා කිහිපයක් වෛද්‍ය සැපයුම් අංශය පරීක්ෂාවට ලක් කර, එහි ලිපිලේඛන රැසක් ද සිය භාරයට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

ලිපි ලේඛනවලට අමතරව එහි නිලධාරීන් කිහිප දෙනකුගෙන් ද විමර්ශනයට අදාළව ප්‍රකාශ ද ලබාගත් බව එම ආරංචි මාර්ග පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, එහි සහකාර අධ්‍යක්ෂ ශාන්තිනි සොලමන්, ගණකාධිකාරි (සැපයුම්) නෙරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර, ඖෂධ ගෙන්වූ අයුසුලේට් බයෝටෙක් පාමා සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු යන අය අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පමුණුවා ඇත.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මෙම සිද්ධියට අදාළව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුවත් කර එම අමාත්‍යාංශයේ රාජ්‍ය මුදල් අංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ප්‍රකාශ ලබා ගත් බවයි. මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය දුන් නියෝගයකට අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය මෙම පරීක්‍ෂා කිරීම කළේය.


ඉන්දිකා රාමනායක