ehelepola-walawwa-kandy

මහනුවර බෝගම්බර බන්ධනාගාරයේ පිහිටි ඓතිහාසික ඇහැළේපොළ වලව්ව දළදා මාළිගාව බාර නොගන්නේනම් එය ආයෝජන ව්‍යාපෘතියක් වෙනුවෙන් යොදාගැනීමට රජය තීරණය කර තිබේ.

මහනුවර නගර සංවර්ධන සැලැස්ම යටතේ ඇහැලේපොළ වලව්ව නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරනු ලැබුණි. මෙම වලව්ව දළදා මාළිගාවට පවරා දිම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය විසින් මීට මාස හයකට පමණ පෙරදීද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරත් මෙම දේපළ සංවර්ධනය කිරීමට වැයවූ මුදල් නැවත ගෙවීම සම්බන්ධයෙන් දළදා මාළිගාව පැහැදිලි පිළිතුරක් ලබාදී නොමැති නිසා මෙම තීරණය ගෙන තිබේ.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් පරිදි ඇහැලේපොළ වලව්ව ආයෝජන ව්‍යාපෘතියක් ලෙස යෙදවීමට යෝජිතය. කෙසේ වෙතත් එහි පෞරාණිකත්වය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීමේ අවශ්‍යතාවය පවතින බවද ඇමතිවරයා කීය. ඇහැළේපොළ වලව්ව සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 154.8 ක් පමණ වැයවී තිබේ.

මහනුවර රජවීදියේ පිහිටි ඇහැළේපොළ වලව්ව ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ පාලන සමයේදී ඇහැලේපොල මහ අධිකාරම් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ජීවත්වූ නිවසයි.

එය ඇහැලේපොළ වලව්ව, රිමාන්ඩ් බන්ධනාගාරය හා බන්ධනාගාර නිල නිවාසය ලෙස ගොඩනැඟිලි තුනකින් සමන්විත වේ.




බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ දී (ක්‍රි.ව1844) මෙය හමුදා බැරැක්කයක් ලෙස භාවිතයට යොදාගෙන තිබු අතර පසුකාලීනව සිර මැදිරියක් හා බෝගම්බර රිමාන්ඩ් බන්ධනාගාරයක් ලෙස මෙම වලව්ව පවත්වාගෙන යනු ලැබිණි.
 අභීත සිංහලයන් රැසකට සෙවණ දුන් මෙම ඓතිහාසික ඇහැලේපොළ වලව්ව රිමාන්ඩ් බන්ධනාගාරයක් ලෙසින් පවත්වාගෙන ගිය අතර එය අපරාධයක් ලෙස ඇතැමුන් හඳුන්වා තිබුණි.

‍‍ඓතිහාසික ඇහැලේපොල වලව්ව මහනුවර ශ්‍රී දළදා මාළිගාව ආශ්‍රීත පූජාභූමි ප්‍රදේශය තුළ පිහිටා ඇති අතර 2005 වසරේදී පුරා විද්‍යා ගොඩනැඟිල්ලක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

මහනුවර නගර සංවර්ධන සැලැස්ම යටතේ ඇහැලේපොළ වලව්ව නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරනු ලැබුණි.

අනතුරුව නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙහි ප්‍රතිසංවර්ධන කටයුතු ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත 2014 දී භාර දෙනු ලැබිණි.

ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ උපදෙස් හා මෙහෙයවීම් මත නාගරික සංවර්ධන අධිකාරියේ අරමුදලින් රුපියල් මිලියන 154.8ක් වැය කර මෙම වලව්වේ ප්‍රතිසංවර්ධන කටයුතු සිදුකර ඇත. එහි ප්‍රතිසංවර්ධන කටයුතු අවසන් කර මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත පැවරීමට උත්සාහ කළ නමුත් ඔවුන් බාර නොගත් නිසා අයෝජන ව්‍යාපෘතියකට දීමට රජය තීරණය කර තිබේ.