විදුලි බිල වැඩි කිරීමට එරෙහිව කොළඹ - දිවුලපිටිය ප්‍රධාන මාර්ගයේ හොරගස්මුල්ල ප්‍රදේශයේ පැවති විරෝධතා පාගමනකදී විදුලි පාරිභෝගික සංගමයේ ලේකම් සංජීව ධම්මික සහ ස්වාමීන් වහන්සේ නමක් ඇතුළු 6 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙයි.
මාර්ග අවහිර කරමින් විරෝධතා පැවැත්වීම හේතුවයි. පොලිසිය අධිකරණ නියෝගයක් ලබාගෙන අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණි.
නීතිවිරෝධී විදුලි බිලට එරෙහිව විදුලි පාරිභෝගික සංගමය ඇතුළු සංවිධාන කිහිපයක් එක්ව මෙම පාගමන පැවැත්වූ අතර දිවුලපිටිය සහ ඒ අවට ප්‍රදේශවල දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණි.
නගරයේ වටරවුමේ මාර්ග බාධක සකස් කර තිබූ අතර සෑම මංසන්ධියකටම කුඩා කණ්ඩායම් වශයෙන් පොලිසිය යොදවා තිබුණි.
විශේෂ කැරලි මර්දන කණ්ඩායමක්, හමුදා භට කණ්ඩායමක් සහ පොලිස් විශේෂ කාර්ය බළකා කණ්ඩායමක් දිවුලපිටිය ක්‍රීඩාංගණයේ ස්ථාපිත කර තිබෙනු දක්නට ලැබිණි.
වඩා බලගතු වන්නේ පොලිස් ආඥාපනත පනත ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද යන්න අද අපට දැක ගත හැකි බව විදුලි පාරිභෝගික සංගමයේ ජාතික ලේකම් ධම්මික සංජීව මහතා අත්අඩංගුවට පත්වීමට පෙර පැවසීය.
මීගමුව පොලිස් අධිකාරී පාලිත අමරතුංග මහතා මෙම පාගමන නීතිවිරෝධී බව පවසමින් ශබ්ද විකාශන යන්ත්‍ර මගින් තහනම් නියෝගයක් ප්‍රකාශයට පත් කළ නමුත් පාගමන එය නොතකා ඉදිරියට ගමන් කරන අවස්තාවේ අත්අඩංගුවට ගැනීම හා පිරිස විසුරුවාහැරීම සිදුවිය.
0 Comments