දෑසම නොපෙනෙන ඇවිද ගන්නට වාරු නැති ”දසේ” හෙවත් ”කරපටියා” නමැති අලියාට පිහිටවීමේ අරමුණින් හොරව්පොතාන අලි අනාථාගාරයට රැගෙන යෑමට පැමිණි වනජීවී නිලධාරීන් විසින් මඩ වගුරකදී අලියා නිර්වින්දනය කළ අතර එතැනට කිසිදු වාහනයක් ගැනීමට නොහැකිව අලියා එතැනම දමා නිලධාරීන් හිස් අතින් ආපසු නික්ම ගිය පුවතක් පෙරේදා (13දා) සවස් යාමයේ ගල්ගමුව, ඇඹෝගම, වළත්තෑව ප්‍රදේශයෙන් අසන්නට ලැබිණි.
මෙම වියපත් අලියා ගල්ගමුව, මහව, මීගලෑව හා හේරත්ගම වනජීවී කලාපවලට අයත් ප්‍රදේශවල සැරි සරමින් ගොවිතැන් ඇතුළු දේපොළ විනාශ කරන නිසාත්, අලියාගේ ජීවිතයට යම් අවදානමක් තිබෙන නිසාත් ආරක්ෂිත ස්ථානයකට රැගෙන යන ලෙසට ප්‍රදේශවාසීන් වනජීවී අංශවලින් ඉල්ලීම් කර තිබිණි.
එහෙත් ඒ සඳහා ලක්ෂ 10කට වැඩි මුදලක් වැයවන නමුත් බලධාරීන්ගෙන් අනුමැතියක් නැතිව එසේ ඉවත් කිරීමට නොහැකි බවට වනජීවී නිලධාරීහු ජනතාවට මෙන්ම මාධ්‍යයට පවා පවසා සිටියහ.
කෙසේ වෙතත් ඒ සඳහා අනුමැතිය ලැබිණි. එහෙත් අලියා සොයා ගැනීමට වනජීවී අංශවලට නොහැකි වුණි. ඔවුන් ජනතාවට පවසා සිටියේ අලියා සිටින්නේ නම් වහා දැනුවත් කරන ලෙසය.
ඒ අනුව අලියා වළත්තෑව නම් පෙදෙසක සිටිනා බවට ගම්වාසීන් වනජීවී අංශ දැනුවත් කළේය. 12 වැනිදා සවස් යාමයේ පැමිණි එම නිලධාරීන් අලියා සිටි තැනම අල්ලා ගස් බැඳ පසු දින එන බවට පවසා පොරොන්දු වී නික්ම ගියහ.
ඔවුන් 13දා උදේ එහි පැමිණියහ. අලියා රැගෙන යෑමට පටවන වාහනයද ළඟා විය. අලියා රැගෙන යෑමට මෙල්ල කරන්නට නිර්වින්දනය කළේය. අලියා සිටි තැනම සිහි නැතිව බිම පතිත වුණි. එහෙත් අලියා නැඟිටින්නේ නැත. ඒ අලියා අසාධ්‍යව හා වියපත්ව සිටින නිසාය. අලියාට වෙඩි වැදුණු කකුල සුව වී ඇතත් පවතින කොර ගතිය නිසා වාරුදී නැඟිටීමට කම්මැළිකමක් දක්වන අලියාට සිහිය ඇතත් නැඟිටීමක් නැතිව එතැනම වැතිර සිටියේය.
අලියා නැඟිට්ට වන්නට වනජීවියට අවැසිය. ඒ සඳහා බැකෝ යන්ත්‍රයක පිහිට පැතීය. එහෙත් එය අලියා සිටිනා තැනට ළංවිය නොහැකිය. ඒ එම සීමාව එරෙන මඩ වගුරක් නිසාය. බැකෝ යන්ත්‍රයද එරී උත්සාහය අසාර්ථක වුණි.
මීට වසර ගණනාවකට පෙර වනජීවී අංශ විසින් අලියාගේ බෙල්ලට දැමූ කරපටිය හිර වී තිබිණි. ඒ අතරවාරයේ එය ගලවා ඉවත් කිරීමට මෙතැනදී ඔවුනට හැකි වුණි. කකුල්වලට දමා තිබු ලණු ගලවා දැමීය. අලියා එහිම වැතිර සිටියදී පැමිණි නිලධාරීහු විශාල මුදලක් වැයකර රැගෙන ආ ලොරි රථයත් සමඟ හිස් අතින් එතැනින් නික්ම ගියහ.
මේ අසරණ සතාට සහනයක් දෙන්නට ගත් සියලු උත්සාහයන් ව්‍යර්ථව ඇතැයි ප්‍රදේශවාසීහු වනජීවී අංශවලට ෙදාස් නැඟුහ. වනජීවී නිලධාරීන්ගෙන් කළ විමසීම්වලදී ඔවුන් වෙනත් කලාපවල වරදක් බව හඟවමින් එකිනෙකාට වරද පටවන අයුරු නම් එහිදී අසන්නට ලැබිණි.
පොල්පිතිගම – නන්දන කැලේගම
0 Comments