fb-request

තරුණයන් සමඟ සමීප ඇසුරු පවත්වන බවට සමාජ මාධ්‍ය ගිණුමක් පවත්වාගෙන යමින්, යුද හමුදා මේජර්වරයකු රවටා ගෙන්වාගෙන, ඔහු නිරුවත් කර ඡායාරූප ගෙන, ඒවා අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කර, මුදල් කොල්ලකෑමේ නිරතව සිටි බව කියන සංවිධානාත්මක කල්ලියක හත් දෙනෙක් මොරටුව මූලස්ථාන පොලිසිය විසින් පෙරේදා (07) අත්අඩංගුවට ගනු ලැබූහ.

සැකකරුවන් පිරිස අවුරුදු 16 -22 අතර වයස්වල පසුවන්නන් බවත්, ඔවුන් අතර කාන්තාවක ද සිටින බවත් පොලිසිය පවසයි. ඔවුන් සංවිධානාත්මකව මෙම ගිණුම පවත්වාගෙන යමින් එක් සැකකරුවකුට අයත් මොරටුව කොරළවැල්ල ප්‍රදේශයේ නිවසකට ගෙන්වාගෙන, මෙම කොල්ලය සිදුකර ඇති බවද පොලිසිය සඳහන් කරයි.

දහසය හැවිරිදි තරුණයකු යුද හමුදා මේජර්වරයා සමග මිතුරු වී ඔහු ඉකුත් 5 වැනිදා මොරටුව නිවසට ගෙන්වාගෙන ඇති බවද පොලිසිය පවසයි.

තරුණයා හා මේජර්වරයා නිවසේ තනියම සිටියදී තරුණයන්  පිරිසක් එක්වරම කඩාවැදී නිරුවත් වී සිටි මේජර්ගේ ඡායාරූප හා වීඩියෝ පට බලහත්කාරයෙන් ගෙන ඇති බවද පොලිසිය සඳහන් කරයි. පසුව සැකකරුවන් මේජර්වරයාට තර්ජනය කරමින් ඔහුගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝපට අන්තර්ජාලයට සහ ඔහු සේවය කරන කඳවුරට යොමු කරන බවට තර්ජනය කර මේ ජර්වරයාගේ බැංකු කාඩ් පතෙන් රුපියල් ලක්ෂ 2 ක මුදලක් බලහත්කාරයෙන් ලබාගෙන ඇතැයි පොලිසිය කියයි.

ඉන් නොනැවතුන සැකකරුවන්, මේජර්ට නිතර නිතර ඇමතුම් දෙමින්, මුදල් ඉල්ලා කරදර කිරීම හේතුවෙන් මේජර්වරයා සිද්ධිය මොරටුව මූලස්ථාන පොලිසියට පැමිණිලි කර ඇත.

ඒ අනුව, පොලීසිය විමර්ශන පවත්වා මෙම සැකකරුවන් හත්දෙනා පෙරේදා (7) අත්අඩංගුවට ගෙන ඇත.මෙම පිරිස සංවිධානාත්මක කල්ලියක් බවත්, ඔවුන් මේ ආකාරයෙන් පුද්ගලයන් රැසක් රවටා මෙම නිවසට ගෙන්වාගෙන ඔවුන්ගේ දේපළ කොල්ලකා ඇති බවත් පොලිසිය කියයි. ලජ්ජාව නිසා ඉන් කිසිවකු ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර නොමැති බවද පොලිසිය පවසයි.

ඉන්දිකා රාමනායක