gammanpila-speaks

විදුලිය නිෂ්පාදනය කරන ජලාශ සියල්ලම පාහේ පිරීයමින්  පවතින මොහොතක විදුලිබල මණ්ඩලය දැවැන්ත වංචාවක් සිදුකරමින් ජනතාව ගසා කමින් සිටින බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

විදුලිබල මණ්ඩලයේ නාස්තිය ජනතාව මත පටවමින් එය පියවා ගැනීමට උත්සාහ කිරීමට විරුද්ධ බව ද හෙතෙම කීවේය.ඒ මහතා මේ බව සඳහන් කළේ, වත්මන් ජන පීඩක ආණ්ඩුව විසින් සිදු කරනු ලබන විදුලි බිල වැඩි කිරීමට, බදු බර ඉහළ දැමීමට, ජීවන වියදම උග්‍ර කිරීමට හා ජාතික සම්පත් විකිණීමට එරෙහිව උත්තර ලංකා සභාගය විසින් කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී පවත්වන ලද සම්මන්ත්‍රණයක දීය. වැඩිදුරටත් අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමය  නායකයා එහිදී මෙසේ ද පැවසීය.

"විදුලි බිල  නැවත වතාවක් වැඩි වෙලා. ආණ්ඩුව කියනවා ඒ පිරිවැය විදුලි පාරිභෝගිකයා දැරිය යුතුයි. වියදම වැඩි වුනොත් අපි ඒක පාරිභෝගිකයගෙන් අය කරනවා. අපිට ඒකට විසඳුමක් නැහැ කියලා. විදුලි බිලෙහි පිරිවැය විදුලි පාරිභෝගිකයා දැරිය යුතුයි  කියන එක අපි පිළිගන්නවා.නමුත් මෙතන තියෙන ප්‍රශ්න මොකක්ද? විදුලිබල මණ්ඩලයේ නාස්තිය පාරිභෝගිකයාගේ කර මත පටවනවාට අපි විරුද්ධයි. විදුලිබල මණ්ඩලයේ තිබෙන දූෂණය පාරිභෝගිකයාගේ කර මත පටවනවාට අපි විරුද්ධයි . ප්‍රතිපත්තිමය තීන්දුවල වරදින් විදුලි මිල ඉහළ යෑමේ ආදීනව පාරිභෝගිකයාගේ කර මත පටවනවාට අපි විරුද්ධයි. ඒ වගේම බොරු තක්කඩි ගණනය කිරීමෙන් හදාගන්නා ඉලක්කම්වලින් චීන බරපැන පාරිභෝගිකයා මත පටවනවට අපි විරුද්ධයි. දුප්පත් කෙනාට වැඩි විදුලිබිලක් දාලා පෝසතාගේ විදුලි මිලත් දුප්පතාගෙන් අයකරගන්නවට අපි විරුද්ධයි. ඒ නිසා තමයි අපිට විදුලිබිල ගැන ආරෝවක් තියෙන්නේ.

පසුගිය කාලෙ කිව්වෙ මාස හයෙන් හයට විදුලි බිල වැඩි කරනවා කියලයි. එහෙම කිව්ව ආණ්ඩුව පෑවිල්ල, ඩීසල්වලින් විදුලිය හදන්න වුනා , ඒ නිසා අපිට යළි වැඩි කරන්න ඕනි කියලා තමයි මේ ගිය මාස දෙකේ වැඩි කළේ.

ඩීසල්වලින් විදුලිය නිෂ්පාදනය කරන්න ගිහිල්ලා පාඩුපිට විදුලි නිෂ්පාදනය කළ බවත් ඇත්තයි. හැබැයි මේ වන විට ඒ පායපු මාස දෙකට හරියන්ඩ පැල් බැඳගෙන වහිනවා.

ඊයේ දිනය වන විට, කාසල්රි  99% ක් පිරිලා. මාවුස්සාකැලේ 94%යි. සමනලවැව 90%යි. කොත්මලේ 80%යි. ඉදිරි සති දෙක තුළ මේ සියලු ජලාශ පිරිලා ඉතිරිලා යනවා. එහෙම නං ඒ වෙච්ච පාඩුව මේ වනකොට අල්ලලා ඉවරයි. එහෙමනං මොකටද මේ බිල වැඩි උනේ. සාමාන්‍යයෙන් දවසකට අපිට විදුලිය අවශ්‍ය වෙනවා ගිගා වොට් පැය 44ක් - 50ක් අතර. මේ දවස්වල වහිනවා. වහිනකොට ෆෑන් අවශ්‍ය නෑ. වායු සමීකරණ දාන්නේ නෑ. ගිගාවොට් පැය44 ක් විතර තමයි සාමාන්‍යයෙන් අවශ්‍ය වෙන්නේ. හැබැයි පහුගිය කාලේ ආර්ථික අර්බුද එක්ක මේ මිල වැඩිකිරීම දරාගන්න බැරිවුණා ජනතාවට මේ දවස්වල දවසකට විදුලි ඉල්ලුම තියෙන්නෙ ගිගා වොට් පැය 40 - 41 අතර. ඊයෙ දවසෙ ජලාශ සහ ආශ්‍රිත ප්‍රදේශවලට කඩා වැටුණු වර්ෂාවෙන් ජලාශවලට එකතුවුණු ජලයෙන් විතරක් ගිගා වොට් පැය 48ක් හදන්න පුළුවන්."

 නවෝද්‍යා  පවනී