ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධානියකු සහ පාතාල ලෝකයේ නායකයකු බව කියන සංජිව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීව නමැත්තාගේ ප්‍රධානම වෙඩික්කරුවකු ලෙස සැලකෙන පුද්ගලයෙක් සාජාහි දී අල්ලාගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් පසු කටුනායක ගුවන්තොටුපළේ දී ආගමන විගමන නිලධාරීන් සහ රහස් පොලිසිය විසින් සැකපිට ඊයේ (01) අලුයම අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නිට්ටඹුව, දෙබහැර ප්‍රදේශයේ පදිංචි බස්නාගලගෙ දොන් රොෂාන් චතුර්ථ නමැත්තෙකි.
ඔහු කලක් යුද හමුදාවේ සේවය කර ඇති අයකු වන අතර සාජා බලධාරීන් විසින් ඔහු අල්ලාගෙන පිටුවහල් කිරීමෙන් පසු එයාර් ඇරබියා ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින් ඊයේ අලුයම 03:45 ට පමණ මෙරටට රැගෙන එනු ලැබීය.
කටුනායක ගුවන්තොටු පොළේ රහස් පොලිස් නිලධාරීන් සහ ආගමන විගමන නිලධාරීන් පාතාල වෙඩික්කරුවකු ලෙස සැලකෙන මෙම පුද්ගලයා සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් පැවැත්වීමෙන් අනතුරුව ඔහු වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයට බාරදුන් බව ගුවන් තොටුපළේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මේ අතර සැකකරුව වැඩිදුර පරීක්ෂණ සඳහා දැඩි රැකවල් මැද පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් කොළඹට රැගෙන යනු ලැබූ බව එම බළකායේ උසස් නිලධාරියෙක් කීය.
ගණේමුල්ලෙ සංජීව නමැති පාතාල නායකයාගේ ප්‍රධාන වෙඩික්කරු ලෙස සැලකෙන මෙම පුද්ගලයා මනුෂ්‍ය ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට සැකපිට අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි අයකු බව පොලීසිය සඳහන් කරයි.
කෙහෙල්බද්දර ප්‍රදේශයේ දී 2018වසරේ පෙබරවාරි මස 16 වැනිදා කෝරළ ගමගේ නෙවිල් පෙරේරා නමැති අයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී ඔහු හොර රහසේ රටින් පැන ගොස් සිටි අයකු බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
වෙඩි කා මියගිය නෙවිල් පෙරේරා නමැත්තා කෙහෙල්බද්දර පද්මේ නමැත්තාගේ පියා යයි පොලීසිය කියයි.
පාතාල නායකයකු ලෙස සැලකෙන කෙහෙල්බද්දර පද්මේ නමැත්තා ද ඩුබායිවලට පලාගොස් සැඟවී සිටින බවද පොලීසිය පවසයි.
පාතාල වෙඩික්කරුවකු ලෙස සැලකෙන මෙම පුද්ගලයා මහනුවර, හන්තාන ප්‍රදේශයේ හෝටලයක සැඟවී සිටියදී 2018 වසරේදී මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් සමග බස්නාහිර පළාත් උතුරු අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන කලක් රිමාන්ඩ් භාරයේ සිටි අයෙකි.
ගණේමුල්ල සංජීව නමැත්තාගේ අනුදැනුම මත පසුගිය කාලයේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සිදු වූ මනුෂ්‍ය ඝාතන රැසක තොරතුරු ඔහුගෙන් අනාවරණය කර ගැනීමට හැකිවනු ඇතැයි පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.
ගණේමුල්ල සංජීව නමැත්තා රැඳවුම් නියෝග යටතේ වීරගුල පොලීසියේ රඳවා තබාගෙන කොළඹ බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය ඔහු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
-ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ කටුනායක ටී.කේ. පී. කපිල
0 Comments