gotabauya-court-decition

 අද 15 දින ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවකින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පාලන කාලයේ දී ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ නිකුත් කළ රෙගුලාසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කර තිබේ.
2021 මාර්තු 12දා මෙම රෙගුලාසි සඳහන් අංක 2218/68 දරන ගැසට් නිවේදනය එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් කළ අතර ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොණු කර තිබූ පෙත්සම් 03ක තීන්දුව ලබාදෙමින් විනිසුරු මඩුල්ල තීරණය කර ඇත්තේ

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ 01/2021 නම් මෙම රෙගුලාසි මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ 10, 12(1) සහ 13 ව්‍යවස්ථා උල්ලංඝනය වන බවයි.
පෙත්සමේ තීන්දුව ලබාදෙමින් බුවනෙක අලුවිහාරේ, මුර්දු ෆර්නෑන්ඩු සහ මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වැඩිදුරටත් නියෝග කර ඇත්තේ පෙත්සම් ගාස්තු ලෙස රුපියල් 25,000 බැගින් රජයෙන් පෙත්සම්කරුවන්ට ගෙවිය යුතු බවයි.

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ මෙම රෙගුලාසිවලට එරෙහිව අතරමැදි පෙත්සම් දෙකක් ද ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබිණි. එම පෙත්සම් ඉදිරිපත් කර තිබුණේ ආචාර්ය මල්කාන්ති හෙට්ටිආරච්චි සහ අල්හාජ් අබ්දුල් ජවාඩ් අලීම් විසිනි.

පෙත්සම්වල වගඋත්තරකරුවන් වූයේ නීතිපති, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කමල් ගුණරත්න, පොලිස්පති චන්දන වික්‍රමරත්න, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි යන මහත්වරුන්ය.