අයවැයෙන් රාජ්‍ය සේවකයන්ට රු.10,000ක දීමනාවක් ලබා දීමට තීරණය කර තිබුණද එය ප්‍රමාණවත් නොවන නිසා තවත් රු.10,000ක් දිනා ගැනීමට අරගල කරන බව රාජ්‍ය, පළාත් රාජ්‍ය වෘත්තීය සමිති එකතුව සහ රාජ්‍ය සේවා වෘත්තීය සමිති ව්‍යාපාරය සඳහන් කරයි.
ලබන වසරේ ජනවාරි 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවකයන්ට මාසිකව රු.20.000ක දීමනාවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේ පවතින අර්ථික අර්බුදය තුළ රාජ්‍ය සේවකයන්ට යන්තම් හෝ ජීවත්වීම සදහා බවද එම සංගම් දෙකේ නියෝජිතයෝ පෙන්වා දෙති.
මේ නිසා තවත් රු.10,000ක මුදලක් අවශ්‍ය බවත්, මේ වෙනුවෙන් ඉදිරියෙහිදී වෘත්තීය ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කරන බවත්, ඒ පිළිබඳව තීරණය කිරීමට තම සංගමයේ වෘත්තීය සමිති 40ක නියෝජිතයන් අද(14දා) කොළඹදී රැස්වන බවත් රාජ්‍ය, පළාත් රාජ්‍ය වෘත්තීය සමිති එකතුවේ කමිටු සාමාජික ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ නියෝජ්‍ය ලේකම් චන්දන සූරියආරච්චි මහතා සඳහන් කළේය.
රජය ප්‍රකාශ කරන ආකාරයට හතර දෙනෙකුගෙන් යුත් පවුලකට මාසයකට අවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට රු. 74000ක මුදලක් අවශ්‍ය වුවද බොහෝ සේවකයන්ට හිමිවන්නේ මාසයකට රු.30,000-40,000 අතර මුදලක් බවද හෙතෙම පවසා සිටියේය.
අයවැයෙන් රු.20,000ක මුදලක් ඉල්ලා සිටියද ලබා දී තිබෙන්නේ රු.10,000ක මුදලක් පමණක් බවත්, මෙම මුදල ප්‍රමාණවත් නොවන නිසා තවත් රු.10,000ක් දිනා ගැනීමට අරගලයක් ආරම්භ කරන බවත් රාජ්‍යසේවා වෘත්තීය සමිති ව්‍යාපාරය සඳහන් කරයි.
මේ අනුව ඉදිරියෙහිදී ගන්නා ක්‍රියා මාර්ග පිළිබඳව තීරණයක් ගැනීම සඳහා අද වෘත්තීය සමිති ව්‍යාපාරය නියෝජනය කරන වෘත්තීය සමිති විස්සක නියෝජිතයන් කොළඹදී රැස්වන බවද එම ව්‍යාපාරයේ සාමාජික ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ මහතා සඳහන් කළේය.
ඉන්දික හේවාවිතාරණ
0 Comments