government-sector-salary-5000

රජයේ සේවකයන් සඳහා අයවැයෙන් යෝජනා කළ පඩි වැඩිවීමෙන් රුපියල් 5000ක් ජනවාරි මාසයේ සිට ලබාදීමට රජයේ අවධානය යොමු වී තිබෙයි.



විශ්‍රාමිකයන් සඳහා වන රුපියල් 2,500ක පඩි වැඩිවීම සම්පූර්ණයෙන්ම ජනවාරියේ සිටම ලබාදීමටද සාකච්ඡා වී තිබෙයි.



රජයේ සේවකයන් සඳහා රුපියල් 10,000ක ජීවන වියදම් දීමනාවක් ලබාදීමට යෝජනා කළ අතර, එයින් 5000ක් ලබන අප්‍රේල් මාසයේත් ඉතිරි මුදල ඔක්තෝම්බර් මාසයේත් ලබාදීමට සහ විශ්‍රමිකයන් සඳහා රුපියල් 2500ක් අප්‍රේල් මාසයේ සිට ලබාදීමටද අය වැයෙන් යෝජනා වී තිබුණි.

අදාල රාජ්‍ය සේවක පඩි වැඩිවීමෙන් කොටසක් ලබන ජනවාරියේ සිටම ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රාජ්‍ය ආදායම් ඒකකයේ රැස්වීමේදී අවධානය යොමුව ඇති අතර, ජනවාරි මස සිට රුපියල් 5000ක් ලබාදීමටත් අප්‍රේල් මස සිට රුපියල් 10,000ම ලබාදීමටත් ඇති හැකියාව සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා වී තිබුණි.

අදාල රැස්වීම රාජ්‍ය ආදායම් ඒකකයේ සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා (23) පැවැත්වුණි.



ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ 2023 අපේක්ෂිත මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවේ සංඛ්‍යා දත්ත අනුව ජනවාරියේ සිටම පඩි වැඩිවීම ක්‍රියාත්මක කළ හැකි බව අනාවරණය වී තිබෙයි.

එම ලේඛනයට අනුව, 2023 ජනවාරි සිට නොවැම්බර් දක්වා ආදායම් එකතු කිරීමේ නියෝජිත ආයතනවලින් බදු ආදායම් එකතු කිරීමේ ඇස්තමේන්තුවද මෙහිදී ඉදිරිපත් කර ඇති අතර, නොවැම්බර් 21 දින වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 1457ක ආදායමක් උත්පාදනය කර තිබෙයි.