hakmana-incident

තියුණු ආයුධයක් පෙන්වා යතුරුපැදියක් පැහැරගෙන යමින් සිටි සැකකරුවකු හක්මන, ඕඛඩකන්ද ප්‍රදේශයේදී පෙරේදා (04) රාත්‍රියේ අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු පොලිස් නිලධාරීන් තිදෙනකුගේ අත් සපාකෑම නිසා, ඔවුන් තුවාල ලබා හක්මණ, ගංගොඩගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව හක්මණ පොලිසිය කියයි.

සැකකරු ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු යුදහමුදා සේවය හැර ගිය සෙබළකු බවද සැකකරු සපා කෑම හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කළ හක්මන පොලිසියට අනුයුක්ත පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරයකු නේවාසිකව ප්‍රතිකාර ලබන අතර, කොස්තාපල්වරයකු ප්‍රතිකාර ලබා පිටව ගිය බව පොලිසිය පවසයි.



මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් හේතුවෙන් සැකකරු තවත් පුද්ගලයකු සමග ගැටුමක් ඇතිකරගෙන ඇති අතර, එම පුද්ගලයාගේ යතුරු පැදිය පැහැරගෙන යන බවට හක්මන පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ සැකකරු පොලිස් නිලධාරීන්ගේ අත් සපා කා ඇති බව පොලිසිය කියයි. සැකකරු තියුණු ආයුධයක් හා යතුරුපැදියද සමග මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. අත්අඩංගුටව ගත් සැකකරු දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 යසන්ත ආරියසේන