harin-fernando-cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවා එහි කටයුතු මෙහෙයවීමට අතුරු පාලක කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගත් තීරණය සම්බන්ධයෙන් අභිනව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ ස්ථාවරය දෙසැම්බර් මස 05වැනිදා දැනුම්දෙන ලෙස අභියාචනාධිකරණය ඊයේ (28දා) දැනුම් දුන්නේය.

මෙම නඩුව ඉදිරි දින කැඳවන තෙක් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අතුරු පාලක කමිටුව පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයට අදාළව කිසිදු පියවරක් නොගන්නා බවට ප්‍රතිඥාවක් දුන් නීතිඥ විදානපතිරණ මහතා, අභිනව ක්‍රීඩා අමාත්‍යවරයාගේ ස්ථාවරය දැනුම්දීම සඳහා දිනයක් ලබා දෙන්නැයි කළ ඉල්ලීමකට අනුමැතිය දෙමින් අධිකරණය එලෙස නියම කළේය.



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවා එහි කටයුතු මෙහෙයවීමට අතුරු පාලක කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගත් තීරණයට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ගොනු කළ පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී මේ බව දැනුම් දුන්නේය.

අභියාචනාධිකරණ විනිසුරුන් වන සෝභිත රාජකරුණා සහ ඩී.එන්. සමරකෝන් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඬුල්ල හමුවේ පෙත්සම සලකා බැලිණි.

පෙත්සම්කාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු දක්වමින් මෙහි පළමු වගඋත්තරකරු වශයෙන් නම් කර ඇති ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා තවදුරටත් එම ධුරයේ කටයුතු නොකරන හෙයින් නව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා මෙම පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් නම් කිරීමට අවසර දෙන්නැයි ඉල්ලා සිටියේය.

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා තම සේවාදායකයාගේ පෙරකලාසිය තවදුරටත් අධිකරණයේ ඇති හෙයින් ඔහු වෙනුවෙන් පෙනීසිටින්නේ යැයි පැවසීය.



ඒ අවස්ථාවේදී ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනීසිටි නීතිඥ දිනේෂ් විදානපතිරණ මහතා කරුණු දක්වමින් තම සේවාදායකයා වෙනුවෙන් පෙරකලාසි ගොනු කිරීමට අවසර දෙන්නැයි ඉල්ලා සිටියේය.

නඩුව ඉදිරි දින අධිකරණයේ කැඳවන තෙක් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා අතුරු පාලක කමිටුව පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයට අදාළව කිසිදු පියවරක් නොගන්නා බවට ප්‍රතිඥාවක් දුන් නීතිඥ විදානපතිරණ මහතා, නඩුව සම්බන්ධයෙන් තම සේවාදායකයාගේ ස්ථාවරය දැනුම්දීම සඳහා දිනයක් දෙන්නැයි ඉල්ලා සිටියේය.

වගඋත්තරකාර ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මනෝහර ජයසිංහ මහතා කරුණු දක්වමින් තම සේවාදායකයා මීට පෙර දැරූ ස්ථාවරයේම තවදුරටත් පසුවන්නේ යැයි පැවසීය.



අර්ජුන රණතුංග මහතා ප්‍රමුඛ ක්‍රිකට් අතුරු පාලක කමිටුව වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කරුණු දක්වමින් මෙම නඩුව පවත්වාගෙන යෑමට නොහැකි බවට මතු කළ මූලික විරෝධතාව සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදෙන්නැයි ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ විනිසුරු මඬුල්ල පෙත්සම ලබන මස 05වැනිදා යළි කැඳවීමට නියම කළේය.
බුද්ධිමාල් රුබේරු