homagama-son-story

සිය පියාට අයත් ගරාජයක තිබූ රුපියල් හැටදහසක් පමණ වටිනා ඔක්සිජන් බෝතලයක් සොරාගත් ගරාජය හිමිකරුගේ පුතා ඊයේ (21 වැනිදා) අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි.මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, පිටිපන උතුර ප්‍රදේශයේ පදිංචි, 23 හැවිරිදි, මෝටර් මැකෑනික් ශිල්පියකු බව පොලීසිය කියයි.



පිටිපන උතුර ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලංගම ඩිපෝ රියැදුරකුට අයත් ගරාජයක තිබූ රුපියල් හැටදහසක් පමණ වටිනා ඔක්සිජන් බෝතලයක් නැති වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව විමර්ශන සිදු කළ පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් ගරාජ හිමියාගේ පුතා අත්අඩංගුවට ගනු ලැබීය.එහිදී සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔක්සිජන් බෝතලය සොරාගෙන, මාර්ගයේ ගමන් ගත් බෝතල් පත්තරකරුවකුට රුපියල් 2,500ක මුදලකට විකිණූ බවට තොරතුරක් අනාවරණය වී තිබුණි.

ඒ අනුව, ඔක්සිජන් බෝතලේ මිලදීගත් බෝතල් පත්තරකරුවා පොලීසියට කැඳවා ලබාගත් ප්‍රකාශයකට අනුව, රුපියල් 2,500ට මිලදීගත් ඔක්සිජන් බෝතලය කහතුඩුව ප්‍රදේශයේ ගරාජයකට එදිනම රුපියල් 18,000කට අලෙවි කර තිබියදී සොයාගත් බව පොලීසිය පවසයි.

මෙම ඔක්සිජන් බෝතලය සොරා ගැනීමට හේතුව, පිය පුතු දෙපළ අතර කලක සිට පවතින අමනාපයක් බවට තොරතුරු අනාවරණය වූ බව පොලීසිය කියයි.අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න