homagama-wedding

හෝමාගම ප්‍රදේශයේ සුපිරි හෝටලයක මංගල සාදයකට පැමිණි වෑන් රථයක තිබූ රුපියල් ලක්ෂ එකොළහකට අධික වටිනාකමින් යුත් මුදල් හා දේපොළ සොරාගත් එම සාදයටම තවත් පිරිසක් රැගෙන පැමිණි කුලී ත්‍රිරෝද රථයක රියැදුරෙකු අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි.



හෝමාගම ගලබඩවත්ත ප්‍රදේශයේ පදිංචි (35) හැවිරිදි පුද්ගලයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.



ඉකුත් 25දා මෙම හෝටලයේ පැවති මංගල සාදයකට අතුරුගිරිය ප්‍රදේශයේ සිට යුවළක් රැගෙන ත්‍රිරෝද රථයක් පැමිණ තිබූ අතර එම යුවළ හෝටලයට ඇරලවා යළි පිටව යාමට සූදානම් වීමේදී එම සාදයට වෑන් රථයකින් පැමිණි පිරිසක් හෝටලයේ රථ ගාල පිහිටා ඇත්තේ කොහේදැයි ඔහුගෙන් විමසා තිබේ.

එම අවස්ථාවේදී රියැදුරා ත්‍රිරෝද රථයෙන් බැස පා ගමනින් ගොස්රථ ගාල පිහිටි ස්ථානය පෙන්වා යළි පැමිණ සිය ත්‍රිරෝද රථය ද හෝටලයේ රථ ගාලේ ගාල් කොට වෑන් රථයේ පැමිණි අයවලුන් හා කුළුපග වී මෙම සොරකම සිදු කර ඇති බවට අනාවරණය වී ඇත.



ඒ අනුව මොහු විසින් පවුම් එකහමාරක් වටිනා රන් මාලයක්, රන් පෙන්ඩනයක්, රිදී මාලයක්, අත් පලඳනාවක්, රූපලාවණ්‍ය උපකරණ කට්ටලයක්, කොණ්ඩා සැකසුම් යන්ත්‍රයක්, සපත්තු යුගල 04, මංගල සාදයේ දෙවැනි දින භාවිත කිරීමට අලුතින්ම මිලදී ගත් ඇඳුම් කට්ටල තුනක්, රුපියල් 2000 තෑගි වවුචර් පත් 02 හා මුදලින් රුපියල් 68,000 සොරා ගෙන ඇති බවට අනාවරණය වී තිබේ.

පසුව සැකකරුගෙන් ලද තොරතුරකට අනුව සොරාගත් භාණ්ඩ නිවස ඉදිරිපිට කෙසෙල් පදුරක් අසල වළක් කපා වළලා තිබියදී සොයාගෙන තිබූ අතර රුපියල් 68,000 මුදලින් ඉතිරිව තිබූ රුපියල් 13,000 මුදලක් පොලිස් භාරයට ගෙන ඇත. හෝමාගම පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
 මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න.