icc-sri-lanka-cricket

 ICC හි අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම අද අඟහරුවාදා (නොවැම්බර් 21) ඉන්දියාවේ අහමදාබාද්හි නර්මදා හෝටලයේදී පැවැත්විණි.මෙහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ෂම්මි සිල්වා සහභාගී වූ අතර මින් ඉහත අන්තර්ජාලය ඔස්සේ තීරණ ගත් බවට සැලකූ කාරණා මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කර තීරණ ලෙස ප්‍රකාශයට පත් කෙරිණි.‍
මෙහිදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) වැදගත් තීරණ තුනක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ප්‍රකාශ කළේ සාමූහික කථාබහින් පසුවයි.
 වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලානය 2024 දී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබුණත් එය වත්මන් අවුල් සහගත වාතාවරණය මැද අපහසු බැවින් දකුණු අප්‍රිකාවට ගෙන යාමට තීරණය විය. මේ හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත විශාල ආදායමක් ලබාගන්නට තිබුණ අවස්ථාවක් මෙන්ම 19 පහළ කණ්ඩායම් වලට මෙරටදී ලබාගන්නට තිබුණ වටිනා අත්දැකීම් ප්‍රමාණයක් අහිමිව ගියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පවතින පරිපාලනමය අවිනිශ්චිතතාවය සැලකිල්ලට ගනිමින් ICC මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන තිබුණි.
සවිස්තරාත්මක සාකච්ඡා වලින් පසුව, 'ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය' අත්හිටුවීමට නොවැම්බර් 10 ගත් තීරණය ස්ථිර කිරීමට මණ්ඩලය අද තීරණය කර ඇත. මෙහිදී ඔවුන් 'ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය' යන පරිපාලන ඒකකය පමණක් තහනම් කර ඇති බව සදහන් කරන අතර ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව බාධාවකින් තොරව ජාත්‍යන්තර පිළිගැනීම් සහිතව පැවැත්වෙන බව දන්වා ඇත.
ඒ අනුව ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර නියෝජනයට අවස්ථා ඇහිරෙන්නේ නැති අතර පරිපාලන ප්‍රශ්න විසදනතුරු ඔවුන්ගේ නියෝජනය 'ක්‍රිකට් ආයතනය' යන ව්‍යුහය ඔස්සේ සිදු නොවේ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් අද රැස්වීම නියෝජනය කළ ෂම්මි සිල්වා දේශපාලන ඇගිලි ගැසීම් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට තවමත් පවතින බව අද දන්වා සිටි අතර මේ අනුව "අත්හිටුවීම ඉවත් කළ නොහැකි බව" පාලක මණ්ඩලය විසින් ඒකමතික තීරණය කරනු ලැබීය.

නමුත් එම අවාසිය ක්‍රීඩකයින්ට අදාළ නැති බවත් "රටේ ක්‍රිකට් සාමාන්‍ය පරිදි සිදුවනු ඇති" බවත් ඔවුන් පැහැදිලි කර තිබේ.
 අහමදාබාද්හි ITC නර්මදා හෝටලයේහි පැවති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට ICC හි නෙරපා හරින ලද සභාපති ෂම්මි සිල්වා සහභාගී වූ නමුත් ඔහු පවතින ගැටලු නිරාකරණය කරගන්නට සමත් නොවූ බව ක්‍රික් බස් වෙබ් අඩවිය විස්තර කර තිබේ.

ICC ව්‍යවස්ථාවට පටහැනිව ශ්‍රී ලංකා රජය අධ්‍යක්ෂ මණ්ඩල කටයුතුවලට මැදිහත් නොවන බවට ICC සෑහීමකට පත් නොවන්නේ නම්, 2024 ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත 19 පහළ ද්විවාර්ෂික තරඟාවලිය රටින් පිටතට ගෙනයාමේ අවදානමක් පවතින බවට SLC සභාපති ෂම්මි සිල්වා මීට ඉහත අනතුරු අඟවා තිබු අතර අද ඔහුද සහභාගීවී සිටියදී එය දකුණු අප්‍රිකාව වෙත විතැන් විය.