පිට පිටම එක්දින ලෝක කුසලාන තරඟාවලි දෙකක අනු ශූරයන් බවට පත්ව සිටින නවසීලන්තය, මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට පිවිසීම සඳහා මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගණයේදී අද (15 වැනිදා) පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේදී ඉන්දියාව හමුවේ අසීරු අභියෝගයකට මුහුණ දීමට සූදානමින් සිටියි.

මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටින කණ්ඩායම් 4න් තවමත් අපරාජිතව සිටින එකම කණ්ඩායම වන ඉන්දියාව, සිය මව්බිමේදී පරාජය කිරීම නවසීලන්තයට පමණක් නොව ඕනෑම කණ්ඩායමකට ඉතා අසිරු අභියෝගයකි. ඉන්දීය ක්‍රීඩකයන්ට වඩාත් හුරු පුරුදු තණතිලිවල තරග පැවැත්වීමත්, ක්‍රීඩා ලෝලීන්ගෙන් ලැබන සහයෝගයත් ඊට හේතු ලෙස සඳහන් කළ හැකිය.

කෙසේ වුවත් මෙවර තරගාවලියේ මූලික වටයේදී ඉන්දියාව සහභාගි වූ තරග දෙස බැලීමේදී ඔවුන්ට හොඳ තරගයක් ලබාදී පරාජයට පත්ව ඇති කණ්ඩායම ලෙස නවසීලන්තය නම් කළ හැකිය.

ඊට හේතුව එම තරගයේදී නවසීලන්තය ලබාදුන් ලකුණු 273 ක ඉලක්කය හඹායෑමේදී ඉන්දියාව කඩුලු 6 ක් අහිමිකරගෙන තිබීය. සෙසු තරග සියල්ලේදීම ඉන්දියාව ජය ලබා ඇත්තේ කඩුලු 6 කට වැඩි ප්‍රමාණයකින් හෝ ලකුණු 100 කට වැඩි පරතරයකිනි.

එබැවින් මෙම තරගයේදීද කණ්ඩායම් දෙක අතර තියුණු සටනක් බලාපොරොත්තු විය හැකිය. මින් පෙර මෙම කණ්ඩායම් දෙක අතර එක්දින ලෝක කුසලාන තරග 10 ක් පැවැත්වී ඇති අතර ඉන් 5 කදීම ඉන්දියාව පරාජය කිරීමට නවසීලන්තය සමත් වී තිබීම නවසීලන්ත ක්‍රීඩකයන්ගේ මානසික ඒකාග්‍රතාව ඉහළ නැංවීමට හේතුවනු ඇත. ලෝක කුසලාන තරග 4 ක ජය ඉන්දියාව සතුවී ඇති අතර සෙසු තරගය විසඳුමකින් තොරව නිමාවට පත්ව තිබේ.

කෙසේ වුවත් මූලික වටය අවසානයේ තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් සහ වැඩිම කඩුලු ලාභීන් අතර ඉන්දීය ක්‍රීඩකයන් 6 දෙනකු සිටියද, නවසීලන්ත ක්‍රීඩකයන් සිටින්නේ තිදෙනකු පමණි. වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණේ පසුවන විරාට් කෝලි තරග 9 කදී ශතක 2 ක් සහ අර්ධ ශතක 5 ක් සමග ලකුණු 594 ක් ලබා සිටින අතර එම ලැයිස්තුවේ තෙවැනි ස්ථානයේ පසුවන රචින් රවින්ද්‍ර තරග 9 කදී ලකුණු 565 ක් ලබා සිටින්නේ ශතක 3 ක් සහ අර්ධ ශතක 2 ක් සමගිනි.



එබැවින් පළමු අවසන් පූර්ව තරගයේදී කල් වේලා ඇතිව කෝලිගේ කඩුල්ල දවා ගැනීම සඳහා නවසීලන්ත පන්දු යවන්නන්ද, දවා ගැනීම රවින්දාගේ කඩුල්ල සඳහා ඉන්දීය පන්දු යවන්නන්ද විශේෂ සැලසුම් ක්‍රියාවට නංවනු ඇත. තරග 9 කදී ශතකයක් සහ අර්ධ ශතක 3 ක් සමග ලකුණු 503 ක් ලබා වැඩිම ලකුණු ලාභීන් අතර සිවුවැනි ස්ථානයේ පසුවන ඉන්දීය නායක රෝහිත් ශර්මාද මෙම තරගයේදී වේලාසනින් දවාගැනීමට හැකි වුවහොත්, එය නවසීලන්ත පන්දු යවන්නන්ට තවත් අස්වැසිල්ක් වනු ඇත.

කණ්ඩායම් දෙකේ පන්දු යැවීමේ අංශ දෙක දෙස බැලීමේදී ජස්ප්‍රීට් බුම්රා (කඩුලු 17), මොහොමඩ් සාමි (කඩුලු 16) සහ රවින්ද්‍ර ජදේජා (කඩුලු 16) පිළිවෙලින් වැඩිම කඩුලු ලාභීන් අතර 5 වැනි, 7 වැනි සහ 8 වැනි ස්ථානවල රැඳී සිටින අතර මිචෙල් සෑට්නර් එහි 9 වැනි ස්ථානයේ පසුවන්නේද කඩුලු 16 ක් දවාගනිමිනි. එහිදී සාමි, ජදේජා සහ සෑට්නර් සම කඩුලු සංඛ්‍යාවන් දවාගෙන තිබුණද, කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය අනුව ඔවුන්ට මෙම ස්ථාන හිමිව තිබේ.

නවසීලන්ත කණ්ඩායම සතුව ට්‍රෙන්ට් බෝල්ට්, ටිම් සවුති සස ලොකි ෆර්ගසන් වැනි දක්ෂ මෙන්ම අත්දැකීම් බහුල පන්දු යවන්නන් සිටියද, මෙවර තරගාවලියේදී කැපී පෙනෙන දස්කම් දැක්වීමට ඔවුන් අපොහොසත් වී ඇත.

ඒ අනුව පිතිහරඹය සහ පන්දු යැවීම යන අංශ දෙකෙන්ම මේ දක්වා නවසීලන්තයට වඩා ඉන්දියාව ඉදිරියෙන් සිටින බව පෙනී යයි. එබැවින් පළමු අවසන් පූර්ව තරගයේදී ඉන්දියාව පරාජය කිරීමට නම් නවසීලන්තය මේ දක්වා නොකළ යමක් කළ යුතුව තිබේ.


ශානුක අරවින්ද