ja-ela-police-incident

ජාඇළ පොලිස් ස්ථානයේ රඳවා සිටි සැකකරුවකු ඊයේ (23)  මාංචු පිටින් ජාඇළ ඇළට පැන පලායෑමට තැත් කිරීමේදී ඔහු අල්ලා ගැනීමට ඇළට පැන්න ජාඇළ පොලිසියේ කොස්තාපල්වරයකු දිය වැලට හසුව අතුරුදන්ව ගොස් ඇති බව පොලිසිය පවසයි.මෙසේ අතුරුදන්ව ඇත්තේ ජාඇළ පොලිසියේ සේවය කළ ක්‍රිෂ්ණ මූර්ති පිරදාපන් (99033) නමැති  කොස්තාපල්වරයකු බව පොලිසිය සඳහන් කරයි.අවිවාහකයකු වු ඔහු පරණ තැපැල් කන්තෝරුව පාර පළමු පටුමග චාවකච්චේරියේ ලිපිනයේ පදිංචිකරුවකු බව පොලිසිය කියයි .නීති විරෝධී ලෙස මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවකට ජාඇළ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ප්‍රශ්න කිරීම සඳහා මාංචු දමා පොලිසියේ රඳවා සිටියදී

පොලිසිය ආසන්නයේම ඇති ජාඇළ ඇළට පැන පැනයෑමට උත්සාහ කිරීමේදී ඔහු අල්ලා ගැනීමට මෙම කොස්තාපල්වරයා ඇළට පැන ඇත.

පැනයාමට උත්සාහ දැරූ සැකකරු අල්ලා ගැනීමට පොලිසිය සමත්ව ඇත.මේ දිනවල ඇද හැළෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ජා ඇළ ඇළේ ජල මට්ටමද ශීඝ්‍රයෙන් ඉහළගොස් ඇත.අතුරුදන්ව ඇති පොලිස් නිලධාරියා සොයා නාවික හමුදාවේ සහාය ඇතිව මෙහෙයුම් ආරම්භ කර ඇති බව ජාඇළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද සේනාරත්න මහතා පවසයි.මේ අතර ඇළට පැන පලා යමින් සිටි හෙරොයින් සම්බන්ධ සැකකරු අල්ලා ගැනීමට ඇළට පැන්න අවස්ථාවේදී ජලයෙහි සැඩ පහරට හසුවී අතුරුදන් වූ ජාඇළ පොලිස් සථානයට අනුයුක්තව සේවය කළ ආධුනික පොලිස් කොස්තාපල්වරයාට සැරයන් තනතුර දක්වා උසස්වීමක් ලබාදීමට

කැලණිය පොලිස් කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පොලිස්පතිවරයාට නිර්දේශ කර ඇත.

ශ්‍රී ලංකා පොලිස් සේවයට ගෞරවයක් ගෙන එමින් නිර්භීතව කටයුතු කිරීම හේතු කොටගෙනය. ක්‍රිෂ්ණමූර්ති පිරදාපන් (26) නමැති මෙම පොලිස් කොස්තාපල්වරයා 2021/09/01 දින ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සේවයට බැඳී තිබේ. නිලධාරියාගේ මූලික පොලිස් පුහුණුවෙන් පසුව යාපනය පොලිස් කොට්ඨාසයේ සේවය කර 2023/09/01 දින කැලණිය පොලිස් කොට්ඨාසයට ස්ථිර ස්ථාන මාරුවක් ලැබ 2023/09/09 සිට ජා-ඇළ පොලිසියට අනුයුක්තව සේවය කර ඇත.මෙම නිලධාරියාට 2023/11/23 දින සිට සේවය ස්ථිර කර පොලිස් සැරයන් තනතුරට උසස් කරන ලෙස කැලණිය පොලිස් කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා නිර්දේශ කර ඇතැයි පොලිසිය කියයි.
 ටෝනි කරුණානායක