jaffna-incident

සොරකම් කිහිපයක් සම්බන්ධයෙන් යාපනය වඩුක්කොඩෙයි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ බන්ධනාගාර ගත කර සිටි සැකකරුවකු යාපනය බන්ධනාගාරයේදී හදිසියේම මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයකු යටතේ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.සිද්ධිය සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයකුට හා කොස්තාපල්වරයකුට වහාම ක්‍රියාත්මක වන පරිදි  යාපනය පොලිසියට ස්ථාන මාරුවීම් දී ඇති බව ද පොලිසිය කියයි. යාපනය කාරණාවෙඩ්ඩි සින්නකර්නි පදිංචි නාගරාසා ඇලෙක් (26) නමැති තරුණයකු මෙලෙස මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.සොරකම් කිහිපයක් සම්බන්ධයෙන් මෙහි තරුණයා ඉකුත් 12 වැනිදා වඩ්ඩකොඩෙයි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බවත්,

පසුව යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් භාරයට පත්කර ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

එම සැකකරු බන්ධනාගාරය තුළ හදිසියේම රෝගී වීම හේතුවෙන් ඉකුත් 18 වැනිදා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව 19 වැනිදා මියගොස් ඇති බව පොලිසිය කියයි.මියගිය තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය යාපනය ශික්ෂණ රෝහලේදී පෙරේදා (20) පැවැත්වීමෙන් අනතුරුව පහරදීම හේතුවෙන් ශරීරයේ අභ්‍යන්තරයේ  ඇති වූ බහුවිධ තුවාල හේතුවෙන් වකුගඩු අකර්මණ්‍ය වීම නිසා මෙම මරණය සිදු  වී ඇති බවට අධිකරණ වෛද්‍යවරයා සිය වාර්තාව මගින් දන්වා තිබූ බව ද එම උසස් නිලධාරියා කීය.මෙම සිද්ධියෙන් පසුව යාපනය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ නියමයෙන් කන්කසන්තුරේ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරිවරයකු යටතේ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර එම විමර්ශනයට අමතරව යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ද විමර්ශන ආරම්භ කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතාගෙන් කළ විමසුමකදී

ඒ මහතා පැවැසුවේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවත්, එම විමර්ශන අවසන් වන තෙක් ඉහත පොලිස් නිලධාරීන්ට ස්ථාන මාරුවීම් දුන් බවත්ය. විමර්ශනයේදී අපරාධමය වරදක් සිදු වී ඇති බවට තහවුරු වුවහොත් අපරාධ නීතිය යටතේ ඔවුන්ට විරුද්ධව කටයුතු කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.සිද්ධියෙන් පසුව විශේෂ කාර්ය බළකාය, පොලිසිය හා යුද හමුදාව එක්ව ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇත.
 ඉන්දිකා රාමනායක