jerome-fernando-cid

ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ විමර්ශන දෙපාර්තවේන්තුවට අද (30) පැමිණ තිබේ.
සිංගප්පූරුව වෙත ගොස් සිටි ජෙරම් ප්‍රනාන්දු ඊයේ (29) දිවයිනට පැමිණියේය.ඔහු දිවයිනට පැමිණ පැය 48ක් තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව හමුවේ ප්‍රකාශයක් දීමට කර තිබූ නියෝගය අනුව ඔහු එහි ගොස් ඇත.
බෞද්ධාගමට අපහාස වන පරිදි ප්‍රකාශයක් සිදු කළ බවට දේවගැති ජෙරම් ප්‍රනාන්දු හට චෝදනා එල්ල විය.

බෞද්ධාගමට අපහාස වන අයුරින් ප්‍රකාශයක් කළ බවට චෝදනා එල්ල ව තිබියදී දිවයිනෙන් බැහැරව සිටි ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා මාස 6 කට පමණ පසුව

ඊයේ (29) අලුයම දිවයිනට පැමිණියේය.ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා දෝහා කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඊයේ අලුයම 1.30ට පමණ මෙරටට පැමිණි බවත්, මුදල් ගෙවා ‘රන් මාවත' විශේෂ අමුත්තන්ගේ මැදිරිය ඔස්සේ ගුවන් තොටුපොළින් පිටව ගිය බවත් ගුවන් තොටුපොළ ආරංචි මාර්ග දන්වා තිබුණි.

බෞද්ධාගමට අපහාස වන ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටිය දී ඔහු ඉකුත් මැයි මස 16 වැනිදා සිය පවුලේ සාමාජිකයන් සමග විදේශගත වූ අතර එලෙස විදේශගත වී මාස 6 කට පමණ පසුව ඔහු ඊයේ යළි දිවයිනට පැමිණියේය.මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ගුවන් ගමන් තහනමක් ලබාගෙන තිබු අතර,

ගුවන් ගමන් තහනම ලබා ගැනීමට පැය කිහිපයකට පෙර ඔහු රටින් පිටත්ව ගියේය.

ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා මෙරටට පැමිණීමේ දී අත්අඩංගුවට නොගන්නා ලෙස අභියාචනාධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගිය දා දැනුම් දී තිබිණි. ඔහුට එරෙහිව සාමාන්‍ය නීතිය යටතේ ක්‍රියාකළ හැකි බවද අභියාචනාධිකරණය දැනුම් දුන්නේය.ඔහුට එරෙහිව පනවා තිබු ගුවන් ගමන් තහනම ද ඉවත් කර තිබු අතර ඔහු මෙරටට පැමිණ පැය 48 ක් ඇතුළත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වොහාරික විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටිමින් ප්‍රකාශයක් දිය යුතු බවට ද අධිකරණය නියෝග කර තිබිණි.
ඒ අනුව කට උත්තර දීමට ඔහු ගොස් තිබේ.