jvp-npp-rally-death-nugegoda

ජනපීඩක ආණ්ඩුව පරදවමු යන මැයින් ඉකුත් 18 දා නුගේගොඩ නගරයේදී ජාතික ජන බලවේගය මගින් සංවිධානය කර තිබූ ජන රැලියට සහභාගී වෙමින් සිටි පාක්ෂිකයෙකු එක්වරම බිම ඇද වැටී ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට යාමේදී මියගොස් සිටි බව මිරිහාන මූලස්ථාන පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ උඩුගම්පල කනත්ත පාර අස්ගිරි වල්පොල පදිංචි රත්නායකගේ සමන් චන්ද්‍ර කුමාර හෙට්ටි ආරච්චි නමැති (55) හැවිරිදි අවිවාහකයෙකු බව පොලීසිය කියයි.

මෙම පුද්ගලයා තවත් 38 දෙනෙකු සමඟ ගම්පහ උඩුගම්පොළ අස්ගිරි වල්පොල කොට්ඨාස සභාව නියෝජනය කරමින් ඉකුත් 18 දා දෙල්කඳ සිට නුගේගොඩට පෙළපාලියකින් පැමිණ නුගේගොඩ සුපිරි වෙළෙඳ සංකීර්ණය අසල එළිමහන් රංග පීඨයේ පැවති ජන හමුවට සහභාගි වී තිබේ.



එම අවස්ථාවේදී තවත් තවත් පුද්ගලයන් කිහිපදෙනෙකු සමග මෙම පුද්ගලයා නුගේගොඩ හයිලෙවල් මාර්ගයේ ගුවන් පාලම අසල සිට දුම්රිය ස්ථානය අසල පිහිටි ජන ජනරැලිය පැවති ස්ථානයට පා ගමනින් ගොස් මාර්ගය අසල රැඳී සිට වේදිකාවේ පැවැති කතා අසමින් සිටියදී එක්වරම බිම ඇද වැටී තිබේ.

ඒ අනුව බිම ඇද වැටුණු පුද්ගලයා ත්‍රිරෝද රථයකින් කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ අතර බාහිර ප්‍රතිකාර ඒකකයේ රැඳී සිටි වෛද්‍යවරයකු රෝගියා පරික්ෂා කොට පවසා ඇත්තේ ඔහු මිය ගොස් ඇති බවයි.

ඒ අනුව මෘත දේහය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු පාරින්ද කොටුගොඩ මහතා විසින් සිදු කළ අතර මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජනක අබේසිංහ මහතා විසින් සිදු කරන ලදී.



එහිදී ඉදිරිපත් වූ සාක්ෂි සහ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව මියගිය පුද්ගලයාගේ මරණයට හේතුව හෘදයාබාධයක් බවට හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු පාරින්ද කොටුගොඩ මහතා නිගමනය කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන මූලස්ථාන පොලිසියේ පො.කො. (47340) බණ්ඩාර නිලධාරීහු පරීක්ෂණ මෙහෙයවූහ.

  මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න