katunayake-couple

ස්ථිර ගමනාන්තයක් නොදැන තැරැව්කරුවෙකුගේ උපදෙස් මත ශ්‍රී ලංකාවෙන් පලා යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි යාපනය ප්‍රදේශයේ තරුණයෙකු සහ තරුණියක ඊයේ (09දා) පස්වරුවේ ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.27 හැවිරිදි හා 19 හැවිරිදි සැකකාර තරුණ යුවළ යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

ඔවුන් සංචාරක වීසා මත ඊයේ (09දා) පස්වරු 01.30 ට ඩුබායි බලා පිටත්ව යාම සදහා ෆිට්ස් එයාර් ගුවන් සේවයේ ගුවන් යානයකට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

එම ගුවන් සේවා නිලධාරීන් ඔවුන්ගේ ලියකියවිලි ලබාගෙන නිෂ්කාශන කටයුතු සිදුකරමින් සිටියදී, ඔවුන්ගේ සැක කටයුතු හැසිරීම මත, ඔවුන් ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාරදී තිබේ.



එහිදී ඔවුන්ගේ ගමන් මලු නිරීක්ෂණය කිරීම්වලදී ඔවුන්ගේ ගමන් මලු තුළ තිබී ප්‍රංශයට සහ ජපානය  වෙත යාම සදහා ව්‍යාජ  තොරතුරු ඇතුළත් කර කූට ලෙස සකස් කළ වීසා බලපත්‍ර දෙක බැගින් ඔවුන් සන්තකයේ තිබී සොයාගෙන තිබුණි.

ඒ පිළිබඳ වැඩිදුරටත් තොරතුරු විමසීමේදී ඔවුන් තැරැව්කරුවෙකුට රුපියල් ලක්ෂ 06ක මුදලක් ගෙවා මෙම වීසා බලපත්‍ර සකස් කරගත් බවත්, ඒවා මීගමුව ලොජ්' තාවකාලික නවාතැන් පළකදී ඔහු තමන්ට භාරදුන් බවත්, තමන් ඩුබායි  වෙත ගිය පසු තමන්ට ඊළඟට පිටත් විය යුතු ගමනාන්තය දැනුම් දෙන බවත් එම තැරැව්කරුවා තමන්ට ප්‍රකාශ කළ බවත් ප්‍රකාශ කර තිබේ.එතෙක් තමන්ගේ ගමනාන්තය පිළිබඳව තමන් කිසිවක් නොදන්නා බවද ඔවුන් එම නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර තිබේ.



ඒ අනුව මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ.

මෙම අත්අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ විමර්ශන කටයුතු ප්‍රධාන ආගමන  විගමන නිලධාරීන් වන ආර්.ආර්.ජී .බී. රණසිංහ සහ ටී.එච්. රත්නායක යන මහත්වරුන්ගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ ආගමන විගමන නිලධාරී කේ.වී.ආර්. බණ්ඩාර මහතා විසින් සිදුකර තිබේ.

කටුනායක - ටී.කේ.ජී  කපිල