තම බිරිඳගේ ගුවන් ගමන් බලපත්‍රය යොදාගෙන වෙනත් කාන්තාවක් ඉතාලියට රැගෙන යාමට තැත් කළ පුද්ගලයෙකු ඊයේ (31දා) කටුනායක ගුවන්තොටුපොළ ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබ තිබේ.
යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙසේ අත්අඩංගුවට පත්ව ඇත. ඔහුගේ පස් හැවිරිදි කුඩා පුතා සමග තම බිරිඳ ලෙස හැඟවෙන පරිදි කන්කසන්තුරය ප්‍රදේශයේ 29 හැවිරිදි කාන්තාවක සමග ඉතාලියට පිටත්ව යාමට ඊයේ (31දා) දහවල් කටුනායක ගුවන්තොටුපොළට පැමිණ ඇත.
එහිදී මෙම පවුලේ ලියකියවිලි නිෂ්කාශනය කර ගැනීමට විගමන කවුළුවට පැමිණි අවස්ථාවේ මොවුන් පිළිබඳ ඇති වූ සැකය මත මොවුන් තිදෙනා දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන්ට යොමු කර තිබේ.
මෙම කුඩා දරුවා මෙම පියාගේ වුවද, සැකකාර කාන්තාව ඔහුගේ බිරිඳ හෝ මව නොවන බවට තොරතුරු අනාවරණය වී තිබේ. මෙම පුද්ගලයා මීට සති කීපයකට පෙර දිවයිනට පැමිණෙන අවස්ථාවේ ඉතාලියේ සිටින සිය බිරිඳගේ ගුවන් ගමන් බලපත්රයද රැගෙන පැමිණ එයට කටුනායක ගුවන්තොටුපොළ ආගමන විගමන මුද්‍රාව, ව්‍යාජ ලෙස සකස් කර එය තබාගෙන තිබේ.
එම ගුවන්ගමන් බලපත්‍රය යොදා ගෙන මෙසේ වෙනත් කාන්තාවක් මොහු ඉතාලියට රැගෙන යාමට තැත් කර ඇති බවට අනාවරණය වී ඇත. මීට පෙර අවස්ථාවකදී ද සිය බිරිඳගේ ගුවන්ගමන් බලපත්‍රය මෙසේ යොදාගෙන තවත් වෙනත් කාන්තාවක් ද ඉතාලියට රැගෙන ගොස් ඇති බව ද ආගමන විගමන නිලධාරීන් වැඩිදුරටත් අනාවරණය කරගෙන තිබේ.
ඒ අනුව මොවුන් තිදෙනා ආගමන විගමන නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට භාර දීමට පියවර ගෙන ඇත.
කටුනායක - ටී.කේ.ජී.කපිල
0 Comments