පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම, ඒ මහතාට ජාත්‍යන්තර පරිසර සමුළුවලට සහභාගි වීම වෙනුවෙන් තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ(23දා) නියම කළේය.
ජාත්‍යන්තර පරිසර සමුළුවලට සහභාගි වීමට අවසර දෙන්නැයි කළ ඉල්ලීමක් පිළිගනිමින් කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට නියම කළ විනිසුරුවරයා, නොවැම්බර් 30වැනිදා සිට පෙබරවාරි 29වැනිදා දක්වා කාලය තුළ ඔහුට විදේශගත වීමට අවසර දුන්නේය.
අත්‍යවශ්‍ය නොවන අවස්ථාවක රූපවාහීනි සංස්ථාවට ජී.අයි. බට මිලදී ගෙන රජයට පාඩුකළ බවට චෝදනා ලැබ සිටින අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඇප නියම කිරීමේදී අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත වීම වළකාලමින් නියෝගයක් පනවා තිබිණි.
2014 නොවැම්බර් මස 25වැනිදා හෝ ඊට ආසන්න දිනයක පළමු විත්තිකරු ජනමාධ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී රූපවාහිනී සංස්ථාවට අත්‍යවශ්‍ය නොවන මොහොතක එහි ප්‍රවර්ධන වැඩසටහනකට යැයි පවසමින් රුපියල් 990,000ක මුදලක් වැය කර රූපවාහිනී සංස්ථාවට ජී.අයි. බට 600ක් මිලදී ගෙන රජයට පාඩු කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ කටයුතු කිරීම මගින් අල්ලස් පනතේ 'දූෂණය' නමැති වරද කළ බවට
විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම චෝදනා නගා ඇත.
කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කළ 2014 වසරේදී මෙම වරද කළැයි චෝදනා කරමින් පවරා ඇති නඩුවේ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අමතරව මෙලෙස චෝදනා ලැබ සිටින්නේ, රූපවාහිනී සංස්ථාවේ හිටපු අධ්යක්ෂ චන්ද්‍රපාල ලියනගේ හා එහි හිටපු සභාපති විමලසේන රූබසිංහ යන මහත්තුරුන්ය. නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයාට ජාත්‍යන්තර පරිසර සමුළුවලට සහභාගි වීමට අවසර දෙන්නැයි ඉල්ලීමක් කළේය.
ලබන 30වැනිදා සිට ලබන වසරේ පෙබරවාරි 29වැනිදා දක්වා කාලය තුළ මෙම සමුළුව පැවැත්වෙන බව දැනුම්දුන් නීතිඥවරයා, එම සමුළුවලට සහභාගි වීම සඳහා ඔහුට විදේශගත වීමට අවසර දෙන්නැයි ඉල්ලා සිටියේය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසාත් නවාවි මහතා කරුණු ඉදිරිපත් කරමින් නඩු විභාගයට බාධා නොවන තාක්කල් විත්තියේ ඉල්ලීම සම්බන්ධයෙන් තමා විරුද්ධ නොවන්නේ යැයි පැවසීය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා විත්තියේ ඉල්ලීමට අවසර දුන්නේය.
බුද්ධිමාල් රුබේරු
0 Comments