kidney-issues-explained

අපි බොහෝ දෙනෙක් රෝගී වෙන්න බොහෝම අකමැතියි. මේ නිසාම සමහරු කෑම බීම වලිනුත් එළවළු පලතුරු ආදිය වැඩිපුර භාවිත කරන්නේ ශරීරය ලෙඩ දුක්වලින් ආරක්ෂා කරගන්න. නමුත් ලෙඩ වුණා කියල දැනගත්තම එළවළු පලතුරු සමහර ඒවා නවත්වන්න වෙන එක්තරා අවයවයක් අපේ මිනිස් ශරීරය තුළ තිඛෙනවා. ඒ තමයි වකුගඩුව, වකුගඩු ලෙඩ වෙන්නේ කොහොමද? කොහොම නමුත් වකුගඩුවල රෝග ඉතා තීව්‍ර අවදියට පත්වනතුරු රෝග ලක්ෂණ නොපෙන්වන අවස්ථා තිඛෙන නිසා, අපි දැන සිටිය යුතු වන්නේ වකුගඩු රෝගවල රෝග ලක්ෂණ නොව, වකුගඩුව රෝගී නොවී රැකගන්නට කළයුතු දෙයයි.

වකුගඩුව දවසකට හාරසිය වතාවක් රුධිරය පිරිසුදු කරන අතර, සාමාන්‍යයෙන් වැඩුණු පුද්ගලයෙකුගේ සිරුරේ රුධිරය ලීටර් හත අටක් පවතින බව තමයි ඇත්ත. වකුගඩුවට හානිකරන්නට සමත් රෝග දෙකක් තමයි අධිරුධිර පීඩනය සහ දියවැඩියාව කියන්නේ. මේ වන විට මේ බෝ නොවන රෝග දෙකම මිනිසා අතර වේගයෙන් පැතිර යන සහ පැතිරෙන රෝග දෙකක්, මේ රෝග දෙකම ප්‍රතිකාර තුළින් යගත හැකි අතර, දියවැඩියාව සහ අධිරුධිර පීඩනය ඇති හැමෝම අනිවාර්යයෙන්ම වකුගඩු රෝගී අය වන බව නොසිතන්න.



මෙහි ඇති අවදානම්ම කාරණය වනුයේ දියවැඩියාව මෙන්ම අධිරුධිර පීඩනයද රෝග ලක්ෂණ නොපෙන්වා දිගු කලක් තිස්සේ ශරීරය තුළ නිහඬව පැවතීමයි.

වකුගඩු රෝගී වීමට හේතුව මේ රෝග දෙක විතරද? නැත. වකුගඩු රෝගී වන්නට අප විසින්ම අනුගමනය කරන තවත් ක්‍රියා බලපානු ලබයි. ජලයේ පවතින යම් යම් වෙනස්කම් මෙන්ම දීර්ඝකාලීනව යමෙක් ලබාගන්නා වේදනානාශක ඔසු භාවිතාව, යම් යම් රූපලාවණ්‍ය මුල්කොටගෙන නිසියාකාර ආරක්ෂාවක් සනාථ නොකළ අවිධිමත් ඖෂධ භාවිතාව වකුගඩුවලට අහිතකර යම් යම් විෂබීජ මුත්‍රාවලට එකතුවීම වැනි හේතුද වකුගඩු රෝග කෙරෙහි බලපානු ලබන බව ඔබත් අසා ඇති. වකුගඩු රෝග නිසා වැඩිපුරම බැණුම් අසන්නේ දියවැඩියා රෝගීන්ගේ මෙට්ෆෝමින් නම් ඖෂධයයි.

මෙට්ෆෝමින් නිසා වකුගඩු රෝග ඇතිවෙනවාද? යන්න බොහෝදෙනෙකු විමසන පැනයකි. දියවැඩියා රෝගියෙකුගේ වකුගඩු රෝගී වී ඇති බව හඳුනාගත් විට මෙට්ෆෝමින් ඖෂධය නැවැත්වීම කෙරෙහි සැකයෙන් එසේ සිතීම එයට හේතුවයි. මෙහි පවතින ඇත්තම කතාව නම් මෙයයි. දියවැඩියා රෝගියා වකුගඩු රෝගියෙකු නම් ඔහුට හෝ ඇයට මෙට්ෆෝමින් නම් ඖෂධ ලබාදීමෙන් අස්වැසීමක් ලබන්නට නොහැකි වීම, එම ඖෂධය නවතන්නට වෛද්‍යවරයා තීරණය කරන්නට පවතින එකම හේතුව එයයි. දියවැඩියාව සමනයට තවදුරටත් මෙෆොමින් ඖෂධයෙන් ඵලක් නොවන විට නිකරුණේ අදාළ නැති ඖෂධය නවතා දමනු විනා දියවැඩියාව සහිත වකුගඩු රෝගියෙකුගේ වකුගඩු රෝගී වීමට හේතුව මෙට්ෆෝමින් ඖෂධය නොවේ.



දියවැඩියා රෝගය පවතින විට ඔබට වැඩිපුර පලතුරු ආහාරයට ගැනීමට ඉඩ නොලැබෙන අතර, පලතුරක් ගන්නේ නම් එය අඩුවෙන් ඉදුණු පළතුරක් යම් සීමාසහිත ප්‍රමාණයකින් විය යුතුය. වකුගඩු රෝගයේදීද ඇතැම් විට පලතුරු ඔබට තහනම්ආහාරයක් විය හැකිය. එමෙන්ම එළවළු වර්ග සහ පලාද එසේමය. එළවළු සහ පලතුරු, පලා සෞඛ්‍යමත් ආහාර ලෙස හඳුන්වා දී තිබියදී මේ දෙන උපදෙස ඔබට පුදුමයක් වනු නොඅනුමානය. ඒ වගේ ගුණැති කෑම වකුගඩු රෝගීන්ගෙන් ඈත් කරන්නේ ඇයි? එයට හේතුව පලතුරු සහ එළවළුවල පවතින මිනරල්ස් එසේත් නැතිනම් ක්ෂුද්‍ර පෝෂකයන් වකුගඩුවට අහිතකර අන්දමින් බලපෑමට ඉඩ ඇති නිසයි.

වෛද්‍ය විද්‍යාව මෙතරම් දියුණු යුගයක වකුගඩු රෝග කල්තියා හඳුනාගත හැකි ක්‍රමයක් නැතිදැයි දැන් ඔබට ගැටලුවක් මතුවෙනු ඇත. ඇත්තෙන්ම එවන් පරීක්ෂණයක් තිබේ. එය ඔබට සරල රුධිර පරීක්ෂණයක් හරහා කලින්ම හදුනාගත හැකිය. ඒ සදහා ඔබට අවශ්‍ය වනුයේ ඔබේ ශරීරයේ දිනෙක ක්‍රියාකාරීත්වය වෙනුවෙන් අනා වටිනා මිල කළ නොහැකි සේවයක් සලසන වකුගඩුව නම් අවයවය ගැන ඔබේ මුහුණේ අලංකාරය, සමේ අලංකාරය වැනි කාරණාවලට වඩා වැඩි අවධානයක් දැක්වීමය.

ඔබේ වකුගඩුවල නිරෝගීතාවය කෙසේදැයි දැනගැනීම වෙනුවෙන් අවශ්‍ය පරීක්ෂණ සඳහා ඔබට නිර්දේශපතක් අවශ්‍ය බව ඔබේ පවුලේ වෛද්‍ය වරයාට වුවත් පැවසීමෙන් නිර්දේශපතක් ලබාගත හැකිය.

සීරම් ක්‍රියැටිනීන් සහ මුත්‍රාවල ACR පරීක්ෂණ ඔබේ වකුගඩුව තුළ රෝගී බවකට තුඩුදෙන කිසියම් හේතුවක් පවතීද යන්න ඒ පරීක්ෂණවලින් කලින්ම දැනුම් දෙනු ඇත. මේ පරීක්ෂණ මෙන්ම ඔබ නිරෝගී බව උතුම්ම ධනය සේ සලකන අයෙක් නම්, පැය දහයක නිරහාර රුධිරගත ග්ලූකෝස් ප්‍රමාණය මෙන්ම නිතර ඔබේ රුධිර පීඩනයද පරික්ෂා කරගන්න. එයින් ඔබට එම රෝගවලින්ද ආරක්ෂා වීමේ මග සලසාගත හැකිය.

දුම් පානය කරන්නෙකු නම් එයින් සම්පූර්ණයෙන්ම ඈත් වෙන්න. නොසැලකිලිමත් බව නිසා ඔබ දියවැඩියාව, අධිරුධිර පීඩනය සහ ඒ දෙකටම අවදානමක් කැදවන අධිස්ථූලතාවද පාලනය කරගන්න. අවශ්‍ය තරම් ජලය පානය කරන්න. මෙහිදී අනවශ්‍ය තරම් මුත්‍රා පිටකිරීමට හේතු සපයා නොගන්න. ඕනෑවට වඩා වතුර බොන්නත් එපා. ඔබ වයස්ගත වන විට ප්‍රයෝජනයක් ගන්නට මුදල් ඉතිරි කරන්නට උනන්දු වෙනවා මෙන්ම සිරුරේ සෑම පද්ධතියක්ම ආරක්ෂා වන පරිදි ඔබේ සැලකිලිමත් බව ආයෝජනය කරන්න.

මෙහිදී අනවශ්‍ය තරම් මුත්‍රා පිටකිරීමට හේතු සපයා නොගන්න. ඕවට වඩා වතුර බොන්නත් එපා. ඔබ වයස්ගත වන විට ප්‍රයෝප්තයක් ගන්නට මුදල් ඉතිරි කරන්නට උනන්දු වෙනවා මෙන්ම සිරුරේ සෑම පද්ධතියක්ම ආරක්ෂා වන පරිදි ඔබේ සැලකිලිමත් බව ආයෝජනය කරන්න.

කෙසේ නමුත් වකුගඩු ආබාධ සදහා පවතින ප්‍රතිකාර මොනවාදැයි විමසුවහොත්, රුධිර කාන්දු පෙරණ නැතිනම් ඩයලයිසීස් කිරීම සහ හානි වූ වකුගඩුවට වෙනත් වකුගඩුවක් බද්ධ කිරීමය. ඊට වඩා ඔබ ස්වාභාවිකව වකුගඩු රැකගත්ත උත්සාහ දරන්නේ නම්, එය ඔබගේ ජීවිතය වෙනුවෙන් ඔබ ගන්නා තීරණවලින් හොදම තීරණයක් වනු ඇත.

උපදෙස් / උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ වෛද්‍ය මහින්ද හේමප්‍රිය මහතා
සටහන / නාලිකා රාජපක්ෂ