kim-jon-ung-sat

ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවක් අභ්‍යවකාශගත කිරීම සම්බන්ධයෙන් උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සිය විද්‍යාඥයින් කණ්ඩායමට සුබපැතුම් එක්කර ඇති අතර, එය "අභ්‍යවකාශ බලයේ නව යුගයක්" ලෙසද හඳුන්වා ඇත.

ඔහු මෙම මෙහෙයුම විස්තර කර ඇත්තේ "ආත්ම ආරක්‍ෂාව සඳහා වූ පූර්ණ අභ්‍යාසයක්" ලෙසය.

උතුරු කොරියාව පසුගිය අඟහරුවාදා දිනයේ දී මෙම ඔත්තු බැලීමේ චන්ද්‍රිකාව දියත් කළේය .



උතුරු කොරියාව එම දියත් කිරීම සාර්ථක වූ බව ප්‍රකාශ කළ නමුත්, දකුණු කොරියාව පැවසුවේ , උතුරු කොරියාව විසින් සිදු කරන ලද පෙර දියත් කිරීම් දෙකක් අසාර්ථක වූ නිසා මෙම චන්ද්‍රිකාව ක්‍රියාත්මක වන්නේ දැයි පැවසීම ඉක්මන් වැඩි බවයි.

කිම් මහතා බ්‍රහස්පතින්දා දිනයේ දී අභ්‍යවකාශ විද්‍යාඥයින් සහ කාර්මික ශිල්පීන්ගේ පිළිගැනීමේ උත්සවයකට ඔහුගේ බිරිඳ රි සොල් ජු සහ දියණිය කිම් ජු ඒ සමඟ සම්බන්ධ වූ බව රාජ්‍ය කොරියානු මධ්‍යම ප්‍රවෘත්ති ඒජන්සිය (KCNA) වාර්ථා කරයි.

මෙම දියත් කිරීම තුළින් "අභ්‍යවකාශ බලයේ නව යුගයකට රට තල්ලු කරන" බව කිම් මහතා පවසා ඇතැයි, KCNA පැවසීය. "ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවක් සන්තකයේ තබා ගැනීම ආත්මාරක්ෂාව සඳහා ඇති අයිතිය පිළිබඳ පූර්ණ පුහුණුවීමක්" යැයි කිම් මහතා පැවසූ බව එහි වැඩිදුරටත් සඳහන් වේ.



උතුරු කොරියානු අග්‍රාමාත්‍ය කිම් ටොක් හුන් පැවසුවේ , මුළු ලෝකයටම පහර දීමේ හැකියාව තම හමුදාවට ලබා දීමට මෙම චන්ද්‍රිකාවට හැකිවනු ඇති බවයි.

ක්‍රියාකාරී ඔත්තු චන්ද්‍රිකාවක් සංවර්ධනය කිරීම උතුරු කොරියාවේ පස් අවුරුදු හමුදා සැලැස්මේ ප්‍රධාන කොටසකි. මේ තුළින් කොරියානු අර්ධද්වීපයේ එක්සත් ජනපද සහ දකුණු කොරියානු හමුදා සිදු කරන ආයුධ චලනයන් පිළිබදව නිරීක්ෂණය කිරීමට හැකි වන අතර එමඟින් පැමිණෙන තර්ජන හඳුනා ගැනීමට හැකියාව ලැබෙයි.

අඟහරුවාදා සිදු කරන ලද දියත් කිරීමෙන් පැය කිහිපයකට පසු උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය කියා සිටියේ , ඔවුන් දැනටමත් එක්සත් ජනපද හමුදා කඳවුරුවල ඡායාරූප සමාලෝචනය කරමින් සිටින බවයි. මෙම දියත් කිරීම එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම ඇමරිකාව, ජපානය ඇතුළු අනෙකුත් රටවල් විසින් දැඩි ලෙස හෙළා දැක තිබේ.

මෙම නවතම දියත් කිරීම පැමිණෙන්නේ සැප්තැම්බර් මාසයේදී කිම් මහතාගේ දුර්ලභ රුසියානු සංචාරයෙන් පසුවය. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් උතුරු කොරියාවට චන්ද්‍රිකා තැනීමට උදව් දී ඇති බවට බොහෝ දෙනා විශ්වාස කරයි.



මැයි සහ අගෝස්තු මාසවල ගත් උත්සාහයන් දෙකක් අසාර්ථක වීමෙන් පසුව දියත් කළ තුන්වන උත්සාහයක් ලෙස  මෙම  "Malliggyong-1" ලෙස නම් කර ඇති චන්ද්‍රිකා දියත් කිරීම හදුනා ගත හැකිය.

අඟහරුවාදා දියත් කරන ලද මෙම චන්ද්‍රිකා දියත් කිරීමෙන් පසු, දකුණු කොරියාව උතුර සමඟ ඇති කරගෙන තිබූ වසර පහක් පැරණි හමුදා ගිවිසුම අර්ධ වශයෙන් අත්හිටුවන ලදී .

උතුරු කොරියාව එයට ප්‍රතිචාර දක්වමින් ,එම ගනුදෙනුව සම්පූර්ණයෙන් අත්හිටුවන බවට තර්ජනය කළේය.