kirindiwela-incident

ගම්පහ කිරිඳිවැල, ඌරාපොල ප්‍රදේශයේ නිවසක ගෙල කපා අබිරහස් ලෙස ඝාතනය කරන ලද කාන්තාවකගේ මළ සිරුරක් පෙරේදා (07) සවස සොයාගත් බව කිරිදිවැල පොලිසිය කියයි.

මෙසේ ඝාතනය කරනු ලැබ ඇත්තේ ඌරාපොළ ප්‍රදේශයේ පදිංචි කේ.ඒ. සංජීවනී නමැති තිස්පස් හැවිරිදි එක්දරු මවක බව පොලිසිය සඳහන් කරයි.



ඇගේ සැමියා වසර කීපයක සිට විදේශ රැකියාවක නිරතව සිටින අතර, ඇය සැමියාගේ මව, පියා හා සොහොයුරා සමග සැමියාගේ නිවසේ පදිංචිව සිට ඇති බව පරීක්ෂණවල දී අනාවරණය වී ඇත.

මියගිය කාන්තාව නිවසේ සාලය මැද වැටී සිටිනු දැක ඇති සැමියාගේ මව මියගිය කාන්තාවගේ මවට සිද්ධිය දැනුම්දීමෙන් අනතුරුව පොලිසියට කළ දැනුම් දීමකට අනුව පරීක්ෂණ ආරම්භ කර ඇත.

එමස්ථානයට පෙරේදා (07) සවස ගිය පූගොඩ වැඩබලන කමල් මහේස්ත්‍රාත් සම්බන්ධපෙරුම මහතා මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණය සිදුකර සිරුර වතුපිටිවල රෝහලට රැගෙන ගොස් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කර ඇත.



එම සිද්ධියෙන් අනතුරුව මියගිය කාන්තාවගේ සැමියාගේ සොහොයුරා අතුරුදන්ව ඇති බව පවසන පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන කරන බව සඳහන් කරයි.

ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ මහතාගේ උපදෙස් මත කිරිඳිවැල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් නන්දලාල් මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බන්දුල විජේසිරි, උපපොලිස් පරීක්ෂක නිශාන්ත, කොස්තාපල්වරුන් වන (31028) රත්නායක, (55018) කුමාර යන නිලධාරිහු මේ පිළිබඳ පරීක්ෂණ පවත්වති.

කිරිඳිවැල උපාලි රණවීර සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය