kohuwala-incident

කොහුවල ප්‍රදේශයේ නිවසක් බිද රුපියල් 952,500/= කට අධික දේපල සොරා ගන්නාලද පුද්ගලයෙකු හෙරෝයින් මිලිග්‍රෑම් 10210 ක් සමග ඉකුත් 20 වන දින ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි ගල්කිස්ස පොලිසිය පවසයි.

සැකකරු දෙහිවල පල්ලිය දොර ප්‍රදේශයේ පදිංචිව සිටින වයස අවුරුදු (42) ක අයෙකු බවත් අධික ලෙස හෙරෝයින් පානයට ඇබ්බැහිව ඒ සඳහා මුදල් සොයා ගැනීමට මෙලෙස දේපල සොරකමේ නියුතුව සිටින බවත් හෙළිවී ඇතැයිද පොලීසිය කියයි.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අමිල ගෝවින්න මහතාගේ ඍජු අධීක්ෂණය මත උප පොලිස් පරීක්ෂක කවිශංක මහතා ඇතුළු නිලධාරී පිරිසක් දෙහිවල හා ගල්කිස්ස යන පොලිස් කොට්ඨාසවල අපරාධ නිවාරණ හා මත්ද්‍රව්‍ය වැටලීමේ නියුතුව සිටින අතර පෞද්ගලික ඔත්තුකරුවකුගෙන් ලද තොරතුරකට අනුව සැකකරු හෙරෝයින් තොගය තවත් ගැනුම්කරුවකු වෙත ලබාදීම සඳහා සඟවාගන සිටියදී දෙහිවල බෝධියවත්ත ක්‍රීඩාංගණය අසලදී පරීක්ෂාවට ලක් කිරීමේදී හෙරෝයින් තොගය සොයාගෙන ඇත.



තව දුරටත් ප්‍රශ්න කිරීමේදී සැකකරු මෙම නිවස බිඳ එහි දේපල සොරාගන ඉතා අඩු මුදලට දෙහිවල කොහුවල ගල්කිස්ස යන ප්‍රදේශවල විවිධ පුද්ගලයන්ට අලෙවිකර තිබියදී පොලිස් භාරයට ගැනීමට හැකි වී ඇතැයිද පොලීසිය කියයි.

මේ අනුව ඉතා වටිනා පරිගණක ලැප්ටොප් තුනක් හා ඒවායේ චාජර් තුනක්, මිල අධික අත්මරලෝසු, ජංගම දුරකථන, මිල අධික විදේශීය සුවඳ විලවුන් බෝතල් ඇතුළු දේපල පොලිස් භාරයට ගැනීමට හැකිවී ඇතැයිද පොලීසිය පැවසීය.

සැකකරු හා නඩු භාණ්ඩ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා කොහුවල පොලීසිය වෙත භාරදෙනු ලැබිණැයිද පොලිසිය පැවසීය.



මෙම වැටලීම් ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙනිය,   පොලිස් අධිකාරි 1 සමන් ජයසේකර යන මහතුන්ගේ අධීක්ෂණය මත ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අමිල ගෝවින්න මහතාගේ මෙහෙයවීම මත උප පොලිස් පරීක්ෂක කවිශංක, පොලිස් කොස්තාපල්වරුවන (69959) සම්පත්, (81753) හේමන්ත, (99213) සේනාරත්න, (102022) කරුණාරත්න, පොලිස් කොස්තාපල් රියදුරු (80965) එදිරිසිංහ යන නිලධාරීහු සිදු කරති.

 දෙහිවල - එච්.එම්. ධර්මපාල, බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ