kottawa-incident

කොට්ටාව සහ මාලඹේ පොලිස් වසම්වල නිවාස දෙකක් බිඳ රුපියල් ලක්ෂ පහළොවකට අධික වටිනාකමින් යුත් මැණික් ගල් හා රන් භාණ්ඩ ඇතුළු දේපළ තොගයක් සොරාගත් හිටපු යුද හමුදා විශේෂ කාර්ය බළකා සෙබළකු ඊයේ (09) දා අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොට්ටාව විද්‍යාල හන්දියේ පදිංචි (36) හැවිරිදි පුද්ගලයෙකු බවද පොලිසිය කියයි.

කොට්ටාව, දෙල්ගහවත්ත ප්‍රදේශයේ නිවසක් බිඳ මැණික් ගල් තොගයක් සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉකුත්දා කොට්ටාව පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.



ඒ පිළිබඳ විමර්ශන සිදු කරමින් සිටියදී බස්නාහිර පළාත බුද්ධි කොට්ඨාසය මගින් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උ.පො.ප. බුද්ධික චතුරංග මහතාට ලද තොරතුරක් පිළිබඳව ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුභාෂණ වන්නිආරච්චි මහතා දැනුවත් කොට ලබා දුන් උපදෙස් මත කොට්ටාව පස්මන් හන්දිය ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් දියත් කෙරිණි.

එම අවස්ථාවේ දී පස්මන් හන්දිය අසල කැලෑ රොදක් සැකකටයුතු ලෙස සෙලවෙමින් තිබියදී ඒ දෙස විපරම් කළ පොලිස් නිලධාරීන් ,පුද්ගලයකු දැක අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමේදී කොට්ටාව හා මාලඹේ පොලිස් වසම් දෙකක සොරකම් දෙකක තොරතුරු අනාවරණය වී තිබේ.

කොට්ටාව, දෙල්ගහවත්ත ප්‍රදේශයේ නිවසක ආරක්ෂක නියාමකවරයාගේ ඔත්තුවකට අනුව නිවැසියන් කතරගම වන්දනාවේ ගිය අවස්ථාවකදී අදාළ නිවස බිඳ සොරාගෙන තිබූ මැණික් ගල් හතළිස් හයක් සැකකරු සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන තිබේ.



තවදුරටත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී මාලඹේ ප්‍රදේශයේ නිවසකින් සොරාගත් ගෑස් සිලින්ඩරයක්, අත් ඔරලෝසු දෙකක්, එල්.ඊ.ඩී රූපවාහිනී යන්ත්‍රයක්, රන් මාලයක් හා පෙන්ඩනයක් මහරගම රන් භාණ්ඩ අලෙවි සැලකට උකස් කර තිබියදී සොයා ගෙන තිබේ. පොලිස් භාරයට ගත් භාණ්ඩවල වටිනාකම රුපියල් ලක්ෂ පහළොවකට අධික බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු විශේෂ කාර්ය බළකායේ සෙබළකු ලෙස වසර 11ක් සේවය කොට ඉන් ඉවත් වූ පුද්ගලයකු බවත් අධික ලෙස හෙරොයින් පානයට ඇබ්බැහිවීම නිසා මෙසේ සොරකම්වලට පුරුදුව සිට ඇති බවත් පැවසේ.

අත්අඩංගුවට ගත් සැකකරු තලංගම සහා මාලඹේ පොලිස් ස්ථානවලින් හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස් වූ අයෙකි.

සැකකරු ඊයේ (09) දා හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට සිටි අතර සිද්ධිය සම්බන්ධයෙන් කොට්ටාව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුභාෂණ වන්නිආරච්චි මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක බුද්ධික චතුරංග මහතාගේ මෙහෙයවීමෙන් පො.කො (84855) රොෂාන්, (9968) සේනාරත්න, (94036) විජේසිංහ, (99619) දිසානායක, (94483) තාරක ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

 මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න